Monday, October 24, 2016

ආයෙමත් ආදරෙන්

මේ සින්දුව අහන ගමන් පහලින් ලියල ඇති හෑල්ල කියවන්නකෝ ඉතින්.


නැවතත් මා ඒ හැඟීමේ මුලාවෙමින් සිටිම්දෝ මට හැඟෙ,
මට මා අවනත නොවන බවකි,
ඔබ සමීපයේ මට පෙර කිසිකලෙක නොවූ
සැනසුමක් තිබුනේ මන්දැයි මා නොදනිමි,
ඒ සැනසුමට මා පෙම් කලෙමි.

කාලය නැවතත් ඔබව මා මතකයට ගෙන එයි,
මේ වස්සානය ඔබ මෙන්ම දොඩමළුව මට ඉඟි කරයි,
ඒ ඉඟි ඔස්සේ ඔබේ මතකය නිතැතින්ම අවදි වේ.
මේ හුදෙකලාවම ඔබේ මතයන් මතින් ගෙවී යාවි.

මේ හදවත මට අවනත නොවනා සේයකි
හදවත නුඹ හරිම මුරණ්ඩු ය.
නුඹට නවතිනු නොහැකිද
යලිදු මතකයන් මත වලපෙන්නද නුඹ මට කියන්නේ
මේ අරුමය කොහොමසිදුවේද මානොදනිමි
මා සැබවින්ම නොදනිමි
හදවත යලිදු ප්‍රේමයෙන් මුසපත් වී ඇත
මම මාද නොදැනම යලිදු පෙම් කරමි
මේ අරුමය කොහොමසිදුවේද මානොදනිමි
මා සැබවින්ම නොදනිමි

හදවත මමනුඹෙන් අයදිමි
නුඹ ප්‍රවේසම් වනුමැනවි
ප්‍රේමයට එහි යලිදු ඉඩක්වෙත්දැයි මා නොදනිමි
මම රස්තියාදු ගසන්නෙමි
නැත මා නොව ඒ මගේ සිත විය යුතුය
මම සිතේ මාවත් ඔස්සේ රස්තියාදුවේ යමි
මට තවමත් ඒ මං මතක ඇති හැඩය
සැබවින්ම ඒ නුඹ තැනූ මාවත්ය.
එහි කොනක අප සැදු නිවහන තවමත් එසේමය
මම එය අසල මොහොතකට නතර වෙමි
නුඹ එහි වෙත්දෝ සැකයක් උපදී
නුඹ එහි වෙතැයි සිතා ඒ හදවත් නිවසේ ගැඹුරට ඇතුළු වෙමි
මේ කතාව යලි ලියවෙන්නේ ඇයිද නොදනිමි
මම සැබවින්ම නොදනිමි

නුඹත් මමත් අතර කිසිවක් නොවේ නම්
ඇයි මේ හදවත මාව මුලා කරන්නේ
මම නුඹව අමතක කර ලන්නට උත්සාහ ගතිමි
මට මාව අමතක වුවා මිස
මගේ හදවත මට අවනත නොවුවා මිස
නුඹම පමණක් එහි ඉතිරි වුනේ මන්දැයි මා නොදනිමි
සැබවින්ම මා නොදනිමි
මේ සිහින පමණක් මේ මතක පමණක්
ඉතරි මන්දැයි මා නොදනිමි
නමුත් හතවතේ තැනු නිවහනේ දොර තවම විවරය.

වැඩි විස්තර - Hindi Songs Lovers

Tuesday, August 16, 2016

ඉයන්ගේ අභියෝගය, මම කැමති සින්දු 16

කාලෙකින්ද කොහෙද  බ්ලොගේ පැත්තේ ආවේ. ඉයන් අන්කල්ගේ සින්දු චැලේන්ජ් එකත් එක්ක බුකිය පුරා සින්දු පොස්ට් යද්දී ආයෙත් බ්ලොග් පැත්තේ ආවේ මගේ සින්දු ටිකත් කියල යන්න. ඇත්තටම මේ දවස් වල වහන් වෙලා ඉන්නේ අධ්‍යන වැඩයි පරීක්ෂණ ව්‍යාපෘති වැඩයි විභාගයි තියෙන හින්ද. සප්ත මහා සාගරේ වගේ තියෙන සින්දු වලින් තමන් කැමති සින්දු 16 තෝරලා වෙන් කරන එක හරිම අමාරු වැඩක්. 

හරි වැල් වටාරම් මොකටද, සින්දු වලට යමුකෝ. 

මේ සින්දු ටික පිළිවෙලකට ගත්තම මට විශේෂයි. මුල ඉඳන්ම එමුකො එහෙනම්. කවුද අකමැති අම්මගේ තුරුලේ ආයෙත් නැලවෙන්න. කාලය ගෙවිලා ගිහින් අපි කොච්චර ලොකු මහත් උනත් කකුල් දෙකට කොට්ටයක් දාල ඒ උඩින් අපිව හොවල ඒ කකුල් දෙක රිදෙනකන් පද්ද පද්ද අම්ම කියපු නැළවිලි ගී අමතක වෙන්න නම් විදියක් ඇත්තෙම නැහැ නේ. මේ සින්දුව අහද්දී අම්මගේ තුරුලට හිත දුවල ගිහින් එදා දැනුනු උනුසුමේ මතකයන් එක්ක අම්ම මුමුණපු කවි දෙසවනනට නිකන්ම ඇසෙනවා වාගෙයි. ඒ වගේම  ඒ කාලේ හැම මතකයක්ම චිත්‍රපටියක් වගේ ඇස දෙක පියා ගත්තම මැවිලා පෙන්න ගන්නවා. අද අම්මගේ තුරුලේ ඒ වගේ නැලවෙන්න බැරි උනත් සැටියේ අම්ම ඉන්න කොට ඔලුව පොඩ්ඩක් උකුලට බර කරොත් නෝක්කාඩුවක් දෙකක් කියල කොන්ඩ ගස් අතරින් ඒ ඇඟිලි දුවව දුවව හිස පිරිමදින්නේ හරියට ඒදා වගේමයි. ඒදා නිදිකරවපු හැටියටම අදත් ඇගේ ඒ ඇඟිලිවල පහසින් නිකන්ම නින්ද යනව. වික්ටර්  රත්නායකයන් ගයන ප්‍රේමකීරිතිද අල්විස් නම් ශ්‍රේෂ්ට ගී පද රචකයා අතින් ලියවුනු ආදරයේ උල්පත වූ අම්මා ගීතය අංක එකට තියෙන්නේ අන්න ඒ අම්මගේ මතකයන් එක්කමයි.

1. ආදරයේ උල්පත වූ අම්මා


වික්ටර් රත්නායකයන් උදාහරණ දිදී ඔය කියන කවි ඔක්කොම අපේ අම්මගේ කටහඬින් අහන්න මම වාසනාවන්ත උනා. ඉතින් ඒ මතකයන් යලි යලිත් මේ සින්දුව අහන කොට මතක් වෙනවා නම් මේ සින්දුව කොහොම අමතක කරන්නද?

අම්මගේ උකුලේ නැළවි නැලවී ඉඳල පෙර පාසල් යන්න ගත්තම තමා වැඩේ. පෙර පාසල් කාලේ ඉඳල සාමාන්‍යයෙන් 5 වසර වෙනකන් ඉස්කෝලේ යන කාලේ කියන්නේ ආයෙත් යන්න පුළුවන් නම් සුන්දර මතක ගණනාවක් එකින් එක එකින් එක මතක් කරන්න පුළුවන් කාලයක්. ඔය කාලේ මම ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉඳිද්දී තිබුන විවිද ප්‍රසංගයක අපිට කියා කියා නටන්න වෙනවා මාලනී බුලත්සිංහලයන් කියන මේ රට මගේ රට මා ඉපදුන රට සින්දුවට. පොඩි කාලේ රූපවාහිනියෙ නිතර අහන්න ලැබුණු මේ සින්දුව දැන් අහන්න ලැබෙන්නේ නැති එක කනගාටුවක්. අදටත් මේ සින්දුව අහද්දී එදා පාසල් වේදිකාව, ඒ මතකයන්, නැටුම පුරුදු කරපු ටීචර්, ඒ වගේම සින්දුවත් එක්ක විස්තර කරන්න බැරි හැඟිමක් හිතට දැනෙනවා.

ඒ කාලේ අපිට ටීවී තිබුනේ නැහැ. අල්ලපු ගෙදරට දුවන්නේ ටීවී බලන්න. මුලින්ම ඔය සින්දුව මට මතක විදියට ඇහුවේ අල්ලපු ගෙදරදී.  ඒ මතක ඔක්කොම එකින් එක පෙළ ගැහෙනවා මේ සින්දුවත් එක්ක. ඒ නිසා මගේ දෙවැනි තැන මාලනී බුලත්සිංහල මහත්මිය ගයපු මේ රට මගේ රට ගීතයට හිමි වෙනවා.

2. මේ රට මගේ රට


ඔය සින්දුවත් එක්ක සමාන්තරව යන සින්දු ගොඩාක් තියෙනවා අපේ පොඩි කාලේ මතකයන් එක්ක බැඳුනු, ඒ අතර දොස්තර හොඳ හිත කාටුන් එකේ තේමා ගීතය, පිස්සු පුසා කාටූන් එකේ තේමා ගීතය, අඹ යාලුවෝ නාට්‍යයේ කටු අකුලේ ගීතය වගේ ගීත. ඔය සියල්ලම බැලුවේ අපේ ටීවී එකෙන් නොවීමත් ඕව ඇහෙනකොට ඒ මතක අවුස්සන්න එක හේතුවක්.

ඊළඟට අපේ සීයලත් එක්ක මගේ මතක අවුස්සන සින්දුව. සීයලත් එක්ක ගෙවුණු පොඩි කාලේ නම් සුපිරි. කුඹුරකට බැහැල මඩේ නටලා වත්ත කොටලා හේන් දාලා කුරුඳු තලලා ඉරටු සුද්ද කරලා ඔය වගේ වැඩ ගොඩක් සීයලත් එක්ක පුංචි කාලේ එකට බැඳුනා. කොටින්ම හා හා පුරා කියල  ගහක් හිටෙව්වේ සීයත් එක්ක. ගමේ සීය විතරයි දැන් ඉන්නේ. එයත් එක්ක තොවිල් පවිල් වැඩ හම්මේ මතක ගොඩායි. :) සීය අදත් කොල්ල වගේ ඉන්නවා, හැබැයි මම අද නාකි වෙලා. ඉතින් මගේ සින්දු ලයිස්තුවේ තුන්වැනි තැන මොනවාද මුත්තේ මොකද කරන්නේ සින්දුවට.

3. මොනවාද මුත්තේ මොකද කරන්නේ



කොහොමින් කොහොම හරි යන්තම් කොලු වයසට ඇවිල්ල ටින් බෙලක් ටිකක් හොයාගෙන එක්ස්රේ කොළයකින් ඩ්‍රම් සෙට් එකක් අටවාගෙන ඕකට තල තල උච්ච ස්වර වලින් සින්දු කියන කාලේ මේ සින්දුව කොහම නම් අමතක කරන්නද? හැබැයි ඕකේ මොනවා කියවුනාද කියලවත් හරි හැටි දන්නේ නැහැ ඒ කාලේ.

4. සීත රෑ වසන්තේ



ඇස්රේ කොළවලට තල තල ඒ ගත්තු වින්දනේ ආයේ කවද ගන්නද? ඕක ෆාස්ට් බීට් කරලා කියා කියා අපි දාපු බජව් වල ඉහලින්ම වැජඹුණු ගීතයක් තමා ඔය සින්දුව.

පහේ ඉඳල නවය වෙනකන් ටිකක් ආදරෙයි විරහවයි පැත්තට බර වෙනවා මේ සින්දු ටික. එතැනදී පස් වැනි ස්ථානය දිනා ගන්නේ අයිවෝ ඩෙනිස් මහත්තයාගේ ඉර වට යන ගිරවියනේ ගීතය තමා. මේ සින්දුව මට හොඳටම කික් උනේ නදීක ගුරුගේ මහත්මය ගයනා කරන විදිය අහල. ඉතින් පස් වෙනි තැන ඉර වට යන ගිරවියනේ සින්දුවට. එකේ පද මාලාව එක්ක අමුතම ලෝකෙක හුදෙකලා වෙන්න හිතෙනවා. විශේෂයෙන් හිත පතුලට ගිනි ඇවිලී මට තනිකම් දැනුනාවේ හතට වරං දෙවි පිහිටෙන් ඈ නිදුකින් උන්නාවේ" වචන ටික සින්දුවට එකතු කරන්නේ අමුතුම ගතියක්. 

5. ඉර වට යන ගිරවියනේ


ඊළඟට නන්දා මාලිනිය ගයන රුවල් ඉරී ගිය නෞකාවේ ගීතයට හිත අතරමන් කරලා දාන්න පුළුවන් උනා. මහා රෑ නිදි මරාගෙන පාඩම් කරන වෙලාවට පොඩි වෙනසකටත් එක්ක මේක අහල මනෝ පාරක් ගහල ආයෙත් පාඩමට සෙට් උනාම හරි ඉතින්. සින්දුවේ විරහ දුකත් එක්ක උපද්දවන හැඟීම අපූරුයි.  ඉතින් ඒ සින්දුව හයවෙනියට තල්ලු කළා.

6. රුවල් ඉරී ගිය නෞකාවේ




ඊළඟට පොඩ්ඩක් හිත දුවල යන්නේ මුහුදු වෙරළට. කාටද මේ වගේ මතකයන් නැත්තේ මුහුදු වෙරළේ. වෙරළේ පා සටහන් එකින් එක මැකිලා යන කොට මතකනුත් එහෙමම වේවිද? එහෙනම් මේ සින්දුව මොකටද? :D

7. පියමන්නේ ඇයිද මෙසේ


ඊළඟට ආදරේ නම් කිමැයි කියා හොයන්න හිතෙන්නේ නැද්ද? පලු සීත රාත්‍රියක හුදකලාවක ගිලිලා ආදරය නම් කිමැයි කියා මනෝ පාරක් ගහන කොට මේ සින්දුව මනෝ ලෝකෙට  අරන් යන යානාවක් වගේ. රහසක්වත් මුමුනන්න දෙතොල්  වත් විවර නොවෙන  ඝන නිහඬතාවයක ගිලිලා ආදර නම් කිමැයි කියා ඔබත් සොයනවානම් මේ පාලු සීතල රාත්‍රියේ ඔබටයි.

8. මේ පාලු සීතල රාතියේ




හිත කියන්නේ නිතැතින්ම අපිව එහි පාලනයට නතු කර ගන්න දෙයක්. හැම විටම අපිට ඉන්න මොහොත අමතක කර අනාගතය නම් නිශ්චිත නොවූ අන්තයකත් අතීතය නම් මතක සමුදායක සුසානයකත් නිතර දෝලනය වෙමින් අපිව පෙලන්න හරිම දක්ෂයි මේ සිත. ඉතින් ඒ සිත පෙර මතක ආයෙ ආයේ ඇවිදින් නෙතග තෙමන්නේ ඒ  දක්ෂ කමෙන්මයි. මේ සින්දුව ඒ ගැනයි. 

9. සිතින් මා නොසැලී සිටිද්දී




මේ සින්දුව ගැන නම් මොකුත් කියන්නේ නෑලු. එත් ඉතින් මොකක්ද එකකට එක එහෙමලු.

10. ඔබ පෙම් කරනා




අන්තිම සින්දු 6 විශේෂ නිසා සෑහෙන්න අමාරුවෙන් පෙළ ගස්සන්නේ.

මේ සින්දුව ට මම ආස උනේ ෂෙල්ටන් පෙරේරා මහත්තයාගේ සින්දු අහන්න ගත්තු කාලේ. මේකේ තේරුමත් එක්ක මම තවත් මේකට ආස උනා. අපි හැමෝම මුලාවක නේද ඉන්නේ කියල හිතෙනවා වෙලාවකට. එගොඩට යන්න දඟලනවා වගේ ඉඳන් තව තවත් ගඟේ සැඩ පහරේ ඔහේ ගහගෙන යනවාදෝ කියල හිතෙනවා. අපිට ඒ බෝට්ටුව මිස් වෙලා. එකයි තවමත් සංසාරේ කියල වික්ටර් රත්නායක මහත්තය කියනවා වගේම මේ සින්දුවේ බුදු හාමුදුරුවෝ පරිනිර්වාණයට ලංවෙලා තව කුඩා ඉන්නේ සංසාරෙන් එගොඩ වෙන්න අහනවා. "පමා නොවන්නේ අඳුර වැටෙන්නේ යනවානම්එ එන්නේ. ඒ වගේම ගඟුල අනෝමයි අද මට වෙහෙසයි යනවා නම් එන්නේ". ඒ වචන මාලාවටයි ගායනයටයි හරි සංවේගයක් දැනෙනවා.

11. එගොඩහ යන්නෝ



ඔබ මම අපි සැවොම එකිනෙකාට වෙනස් වූ නමුදු එකම සිහිනයක් දකිමින් සිටින්නන් නොවේද? ඒ ඒ සිහින මාවත් වල යද්දී අපට මුණ ගසෙන්නන්, අපිව පසු කර ගියවුන්, අපිට හැර දමා යන්නට සිදුවුවන් සියල්ලන්ගේම මතකයන් අල්පමාත්‍ර වශයෙන් හෝ ඔබ මම අතර සිත් සන්තානයේ ශේෂ වී නොමැතිද? ඔබේ සිහින මාවතේ ඔබට සිදුවූ වැරදීම් යලි යලුදු ඒ වැටීම් හමුවේ නැගිටිමින් යන අයුරු පසෙකට වී මොහොතක් කල්පනා ලෝකය තුල කිමිදෙන්න විරාමයක් ලත් මොහොතකට මේ සින්දුව නියම අස වැසිල්ලක්. ඔබට හිනැහෙන්නන් ඔබේ සිහිනය තුල ඔබවම අතරමන් කරවුවන් මේ සියල්ලන්ම මේ සින්දුවේ එක වචනයක හෝ ඉන්නවා. මේ සින්දුව ඉතින් නොදැනෙන්නේ කොහොමද? මේ සින්දුව දුන්න මට දුන්න කෙනාට ගොඩක් ස්තුතියිලු ඉතින්. ;) 

12. හීන හොයාගෙන පියමන් කල මග



හීනයෙන් බිමට බැහැල ටිකක් දුර ඇවිදගෙන යනකොට කාලය ගැන ඔලුවේ මනෝ පාරවල් ගහන්න පටන් ගන්නවා. අපි අපිවවම හොයාගෙන කණ්නාඩියක් කණ්නාඩියක් ගානේ ගිහින් ප්‍රතිබිම්භය නරඹනවා. කණ්නාඩියටත්  සමහරවිට අපිව අඳුර ගන්න පුළුවන් උනාද මන්දා. මොනවා උනත් මේ සින්දුවේ වචන සෙට් එකට මන් කැමතියි. ඉතින්

13. අපි කවුද


අපි කවුදත් හොයාගෙන ඔහොම යනකොට අහම්බෙන් වගේ ඇපල මලක් මුණ ගැසුනොත් කොහොම වේවිද? ඇත්තටම අහම්ඹයන් ජීවිතේට එකතු වෙන්නේ නැද්ද? ඒ ඒ අහම්ඹයන් අපේ ගමන් මග වෙනස් කරන්නේ නැද්ද? කොහොම හරි අමරසිරි පීරෙස් මහත්තයාගේ සුවිශේෂ වූ ගීත ගොන්නක් අතරින් මේ ගීතය මම මුලින්ම අහපු ගීතය නිසාත් එහි ඇති මියුරු සංගීත රටාවට සිත ඇදුනු නිසාත් අර කීව වගේ ඇපල් මලක් ළඟ හිත නවතින්න බැරි නැද්ද නිසාත්, අහම්ඹයක්  වගේ ජීවිතේට එකතු වෙලා ජීවිතේ ජීවත් කරවන්න එක මොහොතකට හෝ සතුට විතරක්ම ගෙනෙන අහම්ඹයන්ට  මම ආස නිසා මෙන්න ඒ අහඹු ඇපල් මල.

14. ඔබ ඇපල් මලක් වාගේ


ඇපල් මලක් දැකල අතරමන් උන වෙලාවට තනි තරුවක් පාර කීවලු. ලහිරු පෙරේරාගේ සින්දු එවෙලේ රසාස්වාදය සඳහා අසා බැහැර කලත් මේ සින්දුවේ සංගීතයයි වචනයි හුදකලාවක නතර කරවනවා. 

15. හවසක මා




16. අවසාන වශයෙන් අමරදේවයන්ගේ ආරාධනා ගීතයට ගොඩක් ආසයි.


සින්දු වලින් සින්දු 16 තෝරනවා කියන එක ලේසි පහසු වැඩක් නම් නෙවෙයි. එත් මට දැනුන මන් ආස ටික කොහොම හරි පෙළ ගස්ස ගත්ත.

Monday, May 23, 2016

බාලචන්ද්‍රන් උඹත් නොදන්නවට



රටා නැතත් ඉටි පදුරක
උකුලේ හොවා නිදි ගන්වපු
සියලු දෙවියෝ රකිත් ම'පුතු
පංචායුදෙ ගෙලේ හොවපු
එකම පුතුගේ හිස මත්තට
තල් අත්තක අඳුරු හෙවන
නුදුරු දිනක වැටෙයි කියල
බාලචන්ද්‍රන්
උඹත් නොදන්නවට
කොයි අම්මද එහෙම හිතුවේ

තල් වැට වට ඉස්කෝලෙක
අනා ආවන්නා කියා දීපු
සිංහල ටීචර්ගේ දැවටි දැවටි
පොංගල් දා කෝවිල් ගිය
මුරුගාගෙන් පිහිට පතපු
උඹ නොදන්න උඹ වගේම
බොහෝ ලපටි උන්ගෙ කරට
සයනයිට් විස බැඳෙයි කියල
බාලචන්ද්‍රන්
උඹත් නොදන්නවට
කොයි කැකුලද එහෙම හිතුවේ

හිස පිච්ච මලින් සැරසූ හිමිසඳ
දෑත ඒ මල් ගීලිහි පරවී ගොස්
අවි දරන කල රුපුන් නැසුමට
යශෝරාවෙන් සොවෙන් ලතවී
උන් මලදා වයිර අග්නියෙන් දවා මළකඳ
චිතකයක අළු නිවෙන්නත් කලියෙන්
බිඳ වැටුණු ගැහැණු හදවත
උන් නසාගෙන මැරෙමියි සිතන
මිනිස් බෝම්මයයක් වෙයි කියල
බාලචන්ද්‍රන්
උඹත් නොදන්නවට
කොයි බිරිඳද එහෙම හිතුවේ

වයිරයේ රකුසු වේශය
නොසන්සිඳි ලේ පිපාසය
උඹේ සනුහරේ ඇවිලූ ගින්න
ඒ ගින්නට පිදුරු ලූ උන් එක්ක
නුඹේ සම මසුත් ඉල්ලා ඉන්නැති
සංසිඳව ගන්නට දකුණේ විලාපය
කඳුළු ගලා ගිය යවට වන් නෙතින්
මානා එල්ලය හරි ඉලක්කෙට
විස්කොත්තකට කැටි ආදරෙන්
උදුර ගන්නැති නුඹේ ප්‍රාණය
උණ්ඩයට උණ්ඩයෙන්

බාලචන්ද්‍රන්
උඹත් නොදන්නවට
උඹ පශ්චාත් යුධයකට
අනුප්‍රාප්තිකයෙකු විය හැකි බව
දේශපාලනිකව හිතා මරන්නට
යලිත් යුද්දයකට
ඉඩ නොතියන්න විසඳුම
"නහී වේරේන වේරානි" නොවන වගකට
උණ්ඩයම විසඳුමක් බව
උන් කොහොමද එහෙම හිතුවේ

Friday, May 13, 2016

නොකී කතාවක

පින්තුරේ මෙතනින් ගත්තේ

මියැදුණු හැඟුමක් සොරකම් කල නුඹ
සිතුවිලි මගේ යලි කළඹා
නොනැගුනු වදනක සීතල හිමකැට
උනුහුමකින් ගුලි කරවා
නොකී කතාවක
වගතුග මොනවද ඇසුවා
පෙරදා මතකය සරදම් කල හඬ
යන්තම් දෙසවන රැඳුනා
නොදැනිම මුව ගොළු වූවා

ගිනියම් සිත මත පිනි බිඳු තැවරු
වසන්තයේ වැහි තිබුණා
වැසි කුලු මෙතරම් කළු කිමදැයි
නිකමට සැක සිතුනා
ඉඳහිට විදුලිය මහ හඬ නැගුවද
ගැස්සුණු සිත් වෙළුනා
මාරුත අතරේ ප්‍රේම තරන්ගේ
කොහේදෝ මානෙක ඇදුනා
නොකී කතාවක ප්‍රේමයේ උණුසුම
වැහිපොද අතරේ දැනුනා
නොදැනිම ප්‍රේමය වින්දා

වැහිබිඳු ගිනිගෙන කාලය අළුකර
අසනි වැසි ඇද වැටුණා
නුබේ ලොවක් තුල මගේ ඉමක් ගැන
සිහිනය පැටලී තිබුනා
මා දුටු සිහිනය මගෙන් උදුර ගෙන
ප්‍රේම කුණාටුව හැමුවා
රුවල් ඉරීගිය පහුරක තනිවී
මා පෙරමග තව බැලුවා
නොකී කතාවක මැවෙනා සිතුවම්
නෙතු මානයේ බොඳ වූවා
නොදනිම කඳුලක් වැටුණා

මියැදුණු හැඟුමක් සොරකම් කල නුඹ
සිතුවිලි මගේ යලි කළඹා
නොනැගුනු වදනක සීතල හිමකැට
උනුහුමකින් ගුලි කරවා
නොකී කතාවක
වගතුග මොනවද ඇසුවා
පෙරදා මතකය සරදම් කල හඬ
යන්තම් දෙසවන රැඳුනා
නොදැනිම මුව ගොළු වූවා

Thursday, April 28, 2016

කාලය (කෙටි කවිද මන්ද)

පින්තුරය ගත්තේ මෙතනින් 

මිදුල උඹ
අතුගාන කොට
හීනි වැලිකැට
රටා මවන හැටි
එත් බොරුවමයි
මියුනු පත් 
ඇඟේ ලාගෙන
උඹ ආයේ
හැඩි වෙනවා
මන් කෝමද
ආයෙත් අමදින්නේ?
මගේ දෙපා සහටනුත්
මැකෙනවා එතකොට
උඹත් හීරෙනවනේ
ඉදලට

හැක් ,මේ පොස්කටුවේ  පොඩි විශේෂයක් තියෙනවා. හැක් මම දන්නෙත් පස්සේ.

Friday, April 8, 2016

දුකෙද කඳුලේද සියුම් පරතෙරක



චංචල ම හැඟුමක වුව
ප්‍රීතිය මදක් තිබිය හැක
සියුම් ලෙස කම්පිතව
හදවතද ඉන් ගැසෙනු ඇත

ඇසිල්ලක සුවය දෙන
චංචල සිතක හැඟුමක
මුදු මෙලෙක් ස්පන්දනය
සියොළඟ පුරා දිවෙනු නොහැකිද

කිලිපොලා යන කලෙක ගත
මිදෙනු නොහැකිද ඉතින් ලෙය
මොහොතක් ගෙනා ප්‍රීතිය
දුකකටද හේතුවම විය හැක

සිප ගැනුමටද සිත් දෙන මලක අග
එහෙයින්ම කටුවක් තිබිය හැක
දෙතොලග සියුම් ලෙස රිදවුවද
මෘදුම සුවඳක් ඉන් නැගෙනු ඇත

නෙතු මානයද ද දෑස රවටන
විසිතුරව දසුන් මවන කල
යලි හැරී බලනා නිමේෂෙක
කඳුලකින් නෙතු බොඳ නොවේවිද

ජීවිතයද එලෙසම ගත කලෙක
මොහොතින් සැම වෙනස් නොවේවිද
දුකෙද කඳුලේද සියුම් පරතෙරක
ප්‍රීතියක් ගැබ්වී සිතම නොරැවටෙද

ජීවිතය අනියත බවම වුව
මොහොතකට අමතක නොවේද
මොහොතද තව මොහොතකට
පාරම කියනු නොහැකිද

ඉතින් කෙලසකම නම්
පැතුම් පොදි බැඳ ගෙනම
සංසාර ගැලට වැද
ගොනු  දක්කනේ
නොදත් මාවතක
දිවිය අනියත බව
අමතකම දිවියක  සිට

( සැ. යු :- මේක කමෙන්ට් කවියක්, අපේ හංසයා ලියපු හදවතට කියන වග නම් කවිය කියවද්දී හිතට අපු දෙයක්. )

Friday, April 1, 2016

හුදෙකලා රාත්‍රියක



තණ පතක පිණි බිඳකි
මේ හැඟුම මා සිතට
දුරක සිට නිලට
දිලෙන තරුවක්ය
නුඹ රැයට
හිස් අහස  කළඹමින්
දුක් ස්වරය හා මුසුව
ගී ගයයි මද පවන

වියකි යයි සිතින්
මේ හැඟුම මා විඳින
හෙට පහන් වන විටම
යලි ආයෙත් රැයක
දළුලා එනු පිණිස

බලා හිඳිමි නුඹ දෙසම
මතකයට සම වැදව
සිප ගනිමි දහස් වර
මේ හිස් අහස යට
ගණදුරම තුරුල් කොට
මතකයේ නුඹ දෙතොල

නුඹ හා මා අතර
හිස් අවකාශයක
දඟකාර වලා කැටි
හරස් වෙයි නුඹ දසුන
නුඹ දෙසම බලා ඉනු
නොහැකිය ඉතිං මට
වළාවනටද ඉඩක්
අවැසියි නොවේද

රැය පුරා පිනි වැස්ස
වැටෙනවා අප ලොවට
නෙතු දෑල දොඩමළුව
සිටිනවා පෙර ලෙසම
නුඹත් දිලි දිලී
ඉඟි කරන කොට මෙලෙස
නෙතු තෙමෙනවා ඒ
පිනි බිඳු නොවන වග
නුඹ දන්නවා
මට වඩා හොඳට

Tuesday, March 15, 2016

සිතක සිතුම්

අඩේ මටත් බෝගක්ද මොකක්ද එකක් තියෙනෝ නේද කියලා එක පාරටම හීනෙන් වගේ මතක් උනා, අනේ සොරි වෙන්න ඕනා මේ යලට මහට කොරන බොග් කෙරුවාවට, වී ආ බිසී පීපල් නෝ? ඇත්තමයි අධ්‍යාපන වැඩයි රස්සාවයි දෙක බැලන්ස් කරන් යද්දී සමහර දේවල් අකමැත්තෙන් උනත් අතාරින්න වෙන තරමට කැප කිරීම් කරන්න වෙනවා. එත් මොකක්දෝ කැසිල්ලකුත් තියෙනෝ, කොහෙද ඒ අස්සේ මේ කිරිල්ලියක් ඉඳන් අවුස්සා අවුස්සා කරදර කරනෝ නේ කවියක් හරි කතාවක් හරි ලියන්ට කියලා. ඒ අස්සේ අපේ ලොම් නැති හාවා (ඒ ආදරේට කියන නමක්) සමහරුන්ට නම් ද විලන් ලු .මහේෂ් රත්නායක බුවාත් ඉතින් කෝල් කර කර විස්තර අහනවා. ඉතින් මේ ඔය අව් අස්සේ හිතට ආපු මොනාද මන්දා ටිකක් බොගට දාල මම යනෝ. හත්වාලාමයි ඔක්කොටම කලින් මකුළු දැල් ටික කඩන්නත් ඕනා.  (හැක).

නුඹ මාරුතයකි ඔහේ හමායන



නුඹ මාරුතයකි
ඔහේ හමායන
නොසලී සිටිනට වෙර දරන
මසිත් රුක දළු ලා වැඩෙන
බලාපොරොත්තුවක
ලපලු පත් කුනිති ගස්සන
එමත්තේ ගැවසී නොගැවසී
සිලි සිලි නාද නංවන
සිහලල්ව වෙලී වෙලී
ගත ගතකිලිපොවන
ඉසියුම්ම හැඟුමන්
ගත පුරා ගෙනයන
රිදුම් පිරි මිලින කොළ
මවෙතින් ඈතකට ගෙනයන
දඟකාර කෙලි කවට කම් කරන
එහෙත් රිදුමක්
ඉතිරි කරවන
ඔව්
නුඹ මාරුතයෙකි
සැබවින්ම
ඔහේ හමායන

නුඹ මාරුතයකි 
ඔහේ හමායන
පුරා හිඩැසක් දරා සිනිනා
මසිත් බෙනයට 
ඔහේ කඩා පැන
මොහොතක ඇසිල්ලක්
එහි නවාතැන් ගෙන
මතකයක නටබුන්
මතින් හමා යන
යලිදු හිඩැසක්
මවා පැනයන
රැඳී නොරැඳී 
ලඟින්ම ඉඳින
ඔව් 
නුඹ මාරුතයෙකි
සැබවින්ම
ඔහේ හමායන

නුඹ මාරුතයකි 
ඔහේ හමායන
නිවී නොනිවී 
විඩාවේ දැල්වෙන
මසිත් සිල හා
ගයා ගීයන් 
තුටින් රඟදෙන
යලි යලිදු 
වඩ වඩා දල්වන
නිවා නොනිවා
සැනින් පැනයන
ඔව් 
නුඹ නම් මාරුතයෙකි
සැබවින්ම
ඔහේ හමායන

දෑකැති සඳ

දෑ කැත්තක් මිටක් නැතිව
පායන හැම රාත්‍රියක
අහස බලන පුංචි ඈයො
නිදි නොලබයි පැදුරු මත්තේ
නිදා ගන්න හෙට දිනයෙදි
තරු පායපු අඳුරු රැයක
මිටක් හොයන දෑ කැත්තට
යලි පායන දිනයක අපි
සවි කරමුකෝ නැගී ඉතින්

එතෙක් පුංචි උන්ගේ ලොවට
තරු පෙන්නපු මහ ගනදුර
පරයාලා මිටක් ඇතිව
පායාපන් දෑකැති සඳ
අමාවකෙත් හරි එලියට

සළු

ගත පොරවන් උන් මනරම් කසී සළු
ලබනු රිසියි තව නොපලන් දිව්‍ය සළු
දසත සරයි දුගියන් ගත නැතිව සළු
නිවන් මගට මොකටද බන් උතුරු සළු

සිල් ඇත්තියෝ ගත දවටන් හොඳ දුහුල් සළු
පෙන්නයි වහගෙන නොවැසුනු උන්ගේ හෙලු
අසරණියන් සළු උනා යහනක වෙද්දී හෙලු
කවුරුත් නෑනේ පොරවන්නට උන්ට සළු

Thursday, January 14, 2016

විරුද්ධකාරයා (කෙටි කතාව)

පින්තූරය අන්තර්ජාලයෙනි
"අනේ හැබෑටම මගේ විරුද්ධකාරයා මට එක දවසක් හිත හොඳින් ඉන්න දෙන්නැති හැටියක්"

තාත්තගේ සුපුරුදු කියුම කියත් සමඟම නංගීත් මමත් තාත්තාට ලංවීමු. තාත්තා හිත වීදනාවෙන් පසුවන අවස්තාවලදී නංගීත් මමත් ඔහු සැනසීමට නොදරනා උත්සාහයක් නැත. අප දෙදෙනා නිසා නොවී නම් තමා මෙලහකටත් ජීවතුන් අතර නැති බැව් එවන් අවස්තාවලදී ඔහු නිතර කියනා හෙයින් අප ලන්වීම ඔහුට සහනයක් වෙතැයි නංගීත් මමත් සිතුවෙමු. අම්මා ඇතුළු අප දෙදෙනාටම මහත් ගැටලුවක් ඇති කරමින් තාත්තා විසින් විරුද්ධකාරයෙකු නිසාවෙන් ඔහු නිතර පීඩා විඳින බවක් පැවසූවත් ඒ කවුරුන්දැයි නොපවසයි. අම්මා විසින් ඒ කවුදැයි අසා දැනගැනීම දැන් අතහැර දමා ඇත්තේ ඒ දැනගනු වස් අප ගන්නා ලද ප්‍රයත්නයන් හමුවී ඔහු ගොළුවත රැක්ක හෙයිනි. නමුත් එවන් අවස්ථාවල ඔහුගේ දෑසේ කුමක් හෝ ලියැවී ඇති බැව් පෙනුනද මම ඒ වටහා ගැනුමේ සමතෙකු නොවීමි.

අප පවුලේ සාමාජිකයින් වශයෙන් ජීවත් වූයේ අප සිව් දෙනා හැරුණු විට බිසෝ නමින් හැඳින්වූ මට වඩා බල කෙල්ලක පමණි. ඈ අම්මට සහාය වෙමින් අප හා විසුවාය. ඈ ගැන වැඩිමනක් තොරතුරු අම්ම අපෙන් සඟවා තබා ගත්තාය. අම්මා විසින් තාත්තා සිටින තැන බිසෝ ගැන මැදහත් සිතකින් කටයුතු කල අතර තාත්තා නොමැති තැන ආ ගැන නොතැකුවාය. කිසි දිනෙක පාසල් නොගිය බිසෝ මා පුංචි මහත්තයා ලෙසින්ද නංගී සුදු හාමිනේ ලෙසින්ද අමතනු ලැබුවාය. අප පාසල් යන දෙස බිසෝ කිසි දිනෙක අසාවෙන් නොබලූ අතර පාසලක් පිලිබඳ වගක් ඇයට නොවීය. බිසෝ අප සමග සවස් කාලයේ සෙල්ලම් කල අතර අම්මා බොහෝ විට වැඩ පල සඳහා අඬගසා ගනු ලැබීය. බොහෝ විට අම්මා විසින් මසා දෙනු ලබන ගවුමකින් හැඩවෙන නංගී බිසොටත් එවැන්නක් මසා නොදෙන්නේ ඇයිදැයි අමමාගෙන් අසනා විටෙක වෙනයමක් පවසා අපව අස්වැසීම ඇගේ සිරිත විය.

අප ජීවත් වූයේ කුඩා නිවසක වූ අතර ඇතැම් වැසි දිනවල වහලේ උළු අතරින් ගෙට එබෙන වැහි බින්දු තාත්තා විසින් මේසය මත තබන ලද පුටුවකට නැගී උළු කැට එහෙ මෙහෙ කර වලක්වන අතර තාත්තා නැති විටෙකදී අම්මා විසින් බිසෝ මෙහෙයවා වැටෙන වැහි බින්දු එල්ලේ බාජන තබා ගෙබිම මත වැහි වතර ගලා යාම වලක්වයි. ටක් ටක් හඬින් වැටෙන වැහි බින්දු වල හඬ කාලාවර්තයක් වාගෙය. වැහි බින්දුවක කැටි වූ ආලෝක බිඳක් සමග වහලේ සිට බාජනයට වැටෙනා වැහි බින්දුව මවනා දර්ශනය මනරම් වන අතර මමත් නංගීත් තරඟයට ඒ වැටෙන වැහි බින්දු ගණන් කළෙමු. බිසෝට නම් ඒ තවත් බාජනයක් තැබිය යුතු තැනක් විනා වෙනකක් නොවීය.

තාත්තා ගුරුවරයෙකු ලෙස පත්ව ඇත්තේ මෑතකදීය. එයට පෙර තාත්තා පිලිබඳ තොරතුරු කිසිත් අපට කියා නොමැත. තාත්තාගේ ජීවිතය මුලසිටම ඉතා දුක් බර එකක් බව තාත්තා නොයෙක් වර අප සමග කියා ඇති මුත් ඉන් එහාට යමක් නොපවසයි. "පුතේ මම හරි දුක් විඳලා මෙතනට ආවේ, මෙතනට ඇවිල්ලත් මට නිදහසක් නැති හැටියක්" යයි පවසනා තාත්තා බොහෝ විට නිහඬය. තාත්තා විසින් නංගී හා මට දවසේ කලයුතු දා පිලිබඳ කාල සටහන් සාදා දී තිබූ අතර ඒවා අනුගමනය කිරීම අප සතුවිය. අම්මා හා තාත්තාගේ විවාහය සිදු වී ඇත්තේ තාත්තා ගුරු වෘත්තියට ඒමට පෙර වූ අතර මට මතක ඇති දා පටන් බිසෝද අප සමගම උන්නාය. අම්මාද ඒ වන විට සුළු රැකියාවක නිරතව සිටි බැව් අම්මා විසින්ද කියනු අසා ඇති අතර විවාහයෙන් පසු අම්මා එම රැකියාවෙන් ඉවත්ව ඇත. මේ හේතුවෙන් පවුලේ මුළු බරම ඉසිළුවේ තාත්තා විසින්ය. තාත්තාගේ සොච්චම් වේතනය අප සිව්දෙනාත් බිසෝගේත් එදිනෙදා යැපුමට යන්තම් ප්‍රමාණවත් විය. තාත්තා සතුවූ ඇතැම් හොඳ ප්‍රතිපත්ති නුවූවානම් බොහෝ අගහිඟ කම් වලට අපට මුහුණ දීමට සිදු වනවා නිසැකය.

තාත්තා නිතර වෙහෙසුනේ මගෙත් නංගීගේත් අනාගතය යහපත් එකක් කිරීමටය. අන් කෙළිලොල් වයසේ පසුවන බාලක බාලිකාවන් විසින් පරිහරණය කරන ලද කෙළිබඩු කිසිත් මා හා නංගී සතු නොවීය. එහෙත් තාත්තා විසින් සාදා දෙන ලද පුංචි කරත්ත, පොල්පිති ගොනුන්, කුරුම්බැට්ටි මැෂින් හා රබර් ඇට බමර අප ළමා කාලය බොහෝ සුන්දර එකක් කළේය. අසල ගෙවල් වල ළමයින්ට ලී අශ්වයින්, කුඩා කාර් බයිසිකල්, බෝනික්කන් ආදී අරුමෝසම් දෑ වූහ. ඒවා දෙස නංගීත් මමත් ඉතා ආශාවෙන් බලා සිටිනු දුටු කල රබර් අට බමරයක් කරකවමින් අප අසලට එන තාත්තා අපිට කතාවක් හෝ කවියක් කියා දෙමින් ඒ ළමුන්ගේ කෙලිබඩු වලට වඩා මේ බමරය කොතරම් අගේට කැරකෙනවා නේදැයි අපට කියා දෙයි. තාත්තාගේ බසට අවනතව අපිද ඒවායින් තෘප්තියට පැමිණියෙමු.

අම්මා එදිනෙදා ජීවිතය යහපත් කර ගැනීමේද ගෙදර දොර අලංකාරව තබාගැනීමේ අරගලයක යෙදුනාය. බිසෝද යට හැකි පමණින් අම්මට සහය වුනු අතර නංගී හා මමද ඇතැම් විට ඊට එක්වීමු. ඕ විසින් පරවෙලා යන මල් කැකුළු නෙලා විත් ගෙදර මේසය මත වූ මල් බඳුන හද කළාය. තාත්තා ඒ හැම විටම පැවසුවේ මේ මල් පරවෙලා යන බවත් ගැසෙම තිබුනා නම් කෙතරම් අලංකාරද යන වගත් පමණිය. අසල ගෙවල් වල ගැහැණුන් නොයෙක් මෝස්‌තර හා හද වැඩ දැමූ ඇඳුම් පැළදුම් පරිහරණය කරන විට ඈ ඒ පිළිබඳව දැඩි ඇල්මක් නොදැක්වුවේ යට එවැනි තත්වයකට මුහුණ දීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති බව ය තේරුම් ගෙන සිටියා විය හැක. එහෙත් තාත්තා සිටින අවස්ථාවල ඇයට නැතත් අසල ගෙවල් වල දරුවන්ට ඇති එම සම්පත්තීන් අප දෙදෙනාට නොමැති බව කලකිරුණු ස්වාභාවයකින් යුතුව පෙන්වාදෙමින් මැසිවිලි නැගුවාය. එවන් විට "අනුන්ගේ දෑට ලොබ නොකරන්න සුමනා" යයි පවසන තාත්තා අපටත් නොපවසා නිවසින් බැහැර වී නැවත පැමිණෙන විට කුමන හෝ කතා පොත් දෙකක් අප දෙදෙනාට ගෙනවිත් දීමට කටයුතු කරයි. තාත්තා මෙන් නොව අම්මා අපගේ වර්තමානය යහපත් එකක් වනු දැකීම ප්‍රිය කළාය.

අපට ලසන ඇඳුම් පැළදුම් නොවූවත් තාත්තා ප්‍රියකළ ස්වදේශීය දළ රෙදිවලින් පිළියෙළ කල ඇඳුම් කට්ටල කිහිපයක් නංගී හා මා සතු විය. මෙම ඇඳුම් අම්මා විසින් ඈ දන්නා මැහුම් මෝස්තරවලින් හද කර තිබීම අපට ප්‍රීතිය ගෙන ඒමට හේතු විය. අපට නිදියගැනීමට සෙසු පොහොසත් දරුවන්නට මෙන් ලස්සන ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට හෝ ඇඳන් නොවූහ. බිසෝ විසින් පැදුරක් එලා අප නිදන ස්ථාන පිළියෙළ කර දෙයි. අම්මා විසින් හෝ බිසෝ විසින් නංගී උකුලේ හොවා නිදි කිරීමට තත් කරන අවස්ථා වල තාත්තා එයට විරුද්ධත්වය පානුයේ "ළමයින් කුඩා කල සිටම ජීවිත අවභෝධයෙන් යුතුව අනුනට අවහිරයක් නොවන පරිදි ජීවත් විය යුතු යැයි" ඔහු දරනු ලාන මතය ගෙන හැර පාමිනි. තාත්තගේ අදහස් තේරුම් ගැනීම නිසාවෙන් හෝ කුඩා කල සිට හුරු පුරුදු කිරීම නිසාවෙන් නංගී හා මම බිසෝ විසින් එලා දුන් පැදුරු වල හුදෙකලාව ගුලිගැසෙන්නට පුරුදුව සිටියෙමු. තාත්තාත් මමත් එකම කාමරයක නිදන්නට පුරුදු වී සිටි අතර එහි වූ එකම ඇඳ මත තාත්තා නිදයි.

තාත්තා ගුණ යහපත් අයෙක් යයි අසල්වැසි සියල්ලන්ම පාහේ පවසනු අප අසා ඇත්තෙමු. තාත්තා සුළු වශයෙන් හෝ කාර්මික දැනුමක් ලබා නැතත් ඔහු සතු කාර්මික දැනුම පුදුම එලවන සුළුය. ගෙදර මැෂිම, හොරා යතුර හෝ වෙනයම්ම යන්ත්‍රයක් වුනි නම් ඒ සියල්ල අලුත් වැඩියා සඳහා පිටකට නොගේනියන තාත්තා නංගී හා මා එකතු කරගෙන "පුතේ මේක මෙහෙමයි, මේක මේ විදියට තිබුනොත් හරි" යයි පවසමින් හරි අපුරුවට ඒවා අලුත්වැඩියා කරයි. වඩු හෝ පෙදරේරු හෝ මොනයම්ම කර්මාන්තයක ඔහු හසල නිපුනයෙකු විය. ඔහු උගන්වන හා නිවසින් පිට සිටිනා විටදී නොසෑහෙන ප්‍රීතියකින් සිටිනා වග ඔහුගේ හිතවතුන් පවසනවාද අප අසා ඇත්තෙමු. නමුත් නිවසේ සිටින බොහෝ අවස්ථාවල එවන් සතුටක් ඔහු කෙරෙන් පල නොවන අතර විරුද්ධකාරයෙකුගෙන් පීඩා විදින බව බොහෝ විට පවසයි. තාත්තා මෙසේ විරුධ්ධකාරයෙකුගෙන් පීඩා විඳින බව ගම වැසියන් තුලද ප්‍රකට විය. ඔහුට සහෝදර සහෝදරියන් සිටිය මුත් දුකෙහිදී හා සැපයේදී ඔහු පිහිට කොට ගත්තේ ඔහුගේ හිතවතුන්ය. තාත්තාගේ මේ ගැටලුවට පිළිසරණක් වීමට ඔවුන් බොහෝ ඔත්සාහ ගත අතර එම විරුද්ධකාරයා හෙළිකරන මෙන් ඉල්ලා සිටියහ, එහෙත් තාත්තාගේ දැඩි නිහඬ බව හමුවේ තාත්තා කිසියම් වූ මනෝ විශාධියකින් පෙලෙන බවත් මනෝ චිකිත්සකවරයෙකු ලවා පරීක්ෂා කර යුතු බවත් ඔවුන්ගේ නිගමනය විය. ඒ අනුව තාත්තා එසේ පරීක්ෂා කල මුත් ඒ පරීක්ෂාවනට සිනාමුසු මුහුණින් යුතුව මුහුණ දුන් තාත්තා තුල මොනම හෝ මනෝ විශාධියක් නොමැති බව මනෝ චිකිත්සකවරගේ නිගමනය විය. අනතුරුව මෙය අමනුෂ්‍ය දෝෂයක් යයි සිතා තාත්තගේ බලවත් විරෝධය මධ්‍යයේ බලි යාගයක් සිදු කරන ලදී. බලි රුප අඹා  සාදන ලද මල් යහනාවක ඒවා තබා කට්ටදියෙකු විසින් බලි යාගය සඳහා වූ කවි මිනි ගෙඩියක් සොලවමින් ගායනා කරන්නට විය. තාත්තා දෙපස සිටි නංගී හා මම එවැනි සාම කවියක් අවසානයෙදීම ආයුබෝ ආවඩා යියි කියමින් මහත් විනෝදයක් ලදිමු. ඉන් අනතුරුව තාත්තාගේ හිසේ සිට පාදාන්තය තෙක් බොහෝ දෙහි ගෙඩි ප්‍රමාණයක් කපා කොහොඹ අත්තක් හිස සිට පාදාන්තය තෙක් ජපා කරමින් රැගෙන ගොස් සියලු දෝෂ මහා බෝලොවට බැහැර කරන ලදි. අවසානයේ කට්ටඩියා විසින් සියලු දෝෂ නිවාරණයි තීන්දුයි කියා බලි යාගය හමාර කර බලි ර්රුප ගෙවත්තේ කොනකට වෙන්නට තැන්පත් කරන ලදී.

ගමේ හිතවතුන් තාත්තාගේ බලවත් විරෝධය මත කරන ලද බලි යාගයෙන්තාත්තගේ චිත්ත පීඩාව මග හැරුණු බවක් පෙනෙන්නට නොතිබූ අතර පනස් පස් වන වියේදී තාත්තා තමා ප්‍රිය කල ගුරු දිවියෙන් විශ්‍රාම ගත්තේ විරුද්ධකාරයාගෙන් ලද පීඩාවන් ඉවසිය නොහැකි බව පවසමිනි. එදින වෙනදා මෙන් මා අවධි වන්නට කලින් අම්මා විසින් මා අවධි කල හෙයින් තාත්තා තවන නිදනවා ඇතැයි සිතා ඔහුගේ ඇඳ දෙස බැලු මුත් ඔහු එහි නොසිටියේය. පසුව අම්මාත් මමත් තාත්තා ගැන විපරම් කර බලු මුත් කිසිදු ආරංචියක් නොවූයෙන් අම්මාත් මමත් හැඬු කදුලින් යුතුව තාත්තාගේ සමීපතමයා වූ ලොකු ඉස්කෝලේ මහත්තයට දැන්වීමු. එතුමා පොලිසියටද දැනුම්දී සෙසු හිතවතුන් හා තාත්තා ගැන සොයා බලු මුත් කිසිදු හෝඩුවාවක් නොවීය.

පොලිස් නිලධාරීන්ද තාත්තා සෙවීමට බොහෝ උත්සාහ කොට අවසානයේදී අම්මා හා මාගෙන් ඔහුගේ අතුරුදන් වීම පිලිබඳ ප්‍රශ්න කරන්නට විය. මා විසින් ඔහු පවසනා ලද විරුද්ධකාරයෙකුගෙන් පීඩා විඳි බව හෙළිකිරීමත් සමඟ ඒ පිලිබඳ සැක පුද්ගලයන්ද ගෙන්වා ප්‍රශ්න කරන්නට විය. එහෙත් තොරතුරක් නොලද්දෙන් තාත්තා පරිහරණය කල ඇඳුම් පැළඳුම් පොත්පත් ආදිය පරීක්ෂා කර බලන්නට විය. එහිදී තාත්තාගේ ලියනමේසයේ පොත් අතර රැඳවූ ලිපියක තාත්තගේ අතුරුදන් වීමට හේතුව පවසා තිබුණි.

"මම අවුරුදු තිහක පමණ කාලයක සිට විරුධ්ධකාරුවෙකු විසින් පෙළනු ලැබ බලවත් චිත්ත පීඩාවලින් යුතුව කාලය ගත කළෙමි. පුතා හා දුව නොසිටින්න මා මීට බොහෝ කලකට පෙර මෙම තීරණය ගන්නට තිබුණි. එසේ කළා නම් බිසෝ කෙල්ලද අසරණ වනු ඇත. මම දැන් විශ්රාමිකයෙකු හෙයින් විශ්‍රාම වැටුපක් ලබමි. එය පුතාගේත් දුවගේත් ඉදිරි කටයුතු වලට ප්‍රමාණවත් වනු ඇත. ඔවුන් දෙදෙනාත් බිසෝ නමිනුත් මා වෙහෙස මහන්සීව හම්බ කර මුදල් ඉතිරි කිරීමේ බැංකුවක තැන්පත් කර ඇත. මේ නිසා මගේ අතුරුදන් වීම ඔවුන්ට ආර්ථික අපහසුතාවක් ගෙන එතැයි මම නොසිතමි. තවද මගේ විශ්‍රාම වැටුප මා බිරිඳගේ නමට හරවා ඇත.

දැනට පනස් හය වසරකට පෙර මෙලොව එලිය දුටු මා අම්මා සහ තාත්තා විසින් ඉතා දුකසේ ඇති දැඩි කල අක්කරය මට මතකය. ඉතා දුකසේ මා අද සිටිනා තත්වයට පැමිණි අතර මා ජීවත් වූ පරිසරය ඉතා සිත්කලුය. එහි කිසිවෙක් මා කෙරේ ඊර්ෂා කෝ ක්‍රෝධ කළා යයි මා නොසිතමි. ඔවුන්ගෙන් මට සිදුවූ ගැහැටක්ද නොමැත. මා සේවා කල පාසලේද මට විරුද්ධකරුවෙකු නොවීය. මට සිටියේ එකම විරුද්ධකරුවෙකු පමණි. මා විශ්‍රාම ගියා සේම ඔහුගෙන්ද විශ්‍රාම යාමට මම අදහස් කර සිටිමි.

මේ අනුව මගේ අතුරුදන්වීම පිලිබඳ කිසිවෙකු කරදර වීමට අවශ්‍ය නැත. මට තව කෙටි කලක් ජීවත් වීමට හැක. ඒ කෙටි කාලය සියලුම විරුද්ධ කරුවන් දුරු කිරීමට චිත්ත විවේකයෙන් ආශ්‍රම වාසීව ගත කිරීමට අදහස් කරමි. ඒ සඳහා මා පෙලඹවූ විරුද්ධකරුවා විසින් කර ගත බලවත් කුසල කර්මය ඔහුට අත්වේවා යයි මම ප්‍රාර්ථනා කරමි. මා මෙතෙක් නම් නොකරන ලද මාගේ විරුද්ධකරුවා අන් කිසිවෙකුත් නොව මමත් දැනට තිස් වසකට පෙරාතුව මා හා අතිනත ගත මා බිරිදන්ත් නිසාවෙන් උපන් ප්‍රේමයම පමණක් බැව් කියමි."

පොලිස් නිලධාරියා ලිපිය කියවා අවසන් කරත්ම අම්මා දෑතින්ම මුහුණ වසාගෙන හඬමින් ගෙතුළට ගියාය.
Related Posts Plugin for WordPress, Blogger...