Saturday, October 31, 2015

මල් වඩමකින් නුඹේ තනිය නිවේදෝ



හැව්ලොක් සිටිය වාගේ උසටම
හීන කන්දක් සුමනා දැක්කා
වත්තෙ මුඩුක්කුවෙ ලෑලි පෙට්ටියේ
ගැහෙන ජීවිත ඒවා අතරේ රැඳී තිබුනා
හිසට ඉහලින් උන්නු තහඩු කොළ
මලකඩෙන් බැට කාලා තිබුනා
අම්මත් මරන් උපන් එකී ලෙස
වත්තේ ඈටත් නමක් තිබුනා

මන්ද මානසික සටන පැරදී
අයියා වකුටුව වැටී හිටියා
ජීවිතේ දුක නොදැනම වෙන්නැති
උගේ මුහුණේ නිති හිනාම පිපුනා
කාසේ රෝගෙට උඩටම අදිමින්
ආච්චිත් රෑ තිස්පැය ගෙව්වා
සුමනා ගැන හිතිලා වෙන්නැති
පපුවත් ඇගෙ ගොර හඬකින් හැඬුවා

ඇඟේ මසටත් මිලක් ඇතිබැව්
අම්බපාලිත් දැනන් උන්නා
ඒවගක් දැනගත් දිනක ඉඳලා
සුමනටත් අඹවන ඇරී තිබුනා
සිටු ඇමතිවර නාදුනන හඬවල්
දුරකතනයකින් ඈ හා කතා කෙරුවා
මොහොතට සුවදෙන චංචල රසයේත්
මිල ගණන් උන් හෙට්ටුම කෙරුවා

සඳක් නොමැති රෑ තනිය මකන්නට
සුමනාට බොහෝ උන් නිතරම හිටියා
තරු එළියක් වත් උන්ලග තිබුනද
ඈ හට පොඩියට සැකයක් හිතුනා
වෙඩිමක් නැතිවට දීගෙක යන්නට
සුමනට හිත් කොන අසා තිබුනා
දීගෙක නොගියත් අතිනත යන්නට
සුමනගේ දයිවය කියලා තිබුනා

ඈටත් ඇගෙ හිමි සඳකට තුරුලුව
මධු රස විදින්නට අසා තිබුනා
හිමි සඳ නැතුවට මධු රස බොන්නට
මත් බඹරුන් බෝ පියඹා ආවා
පන්සලේ බෝ ගසේ නොමැති සිසිලක්
වීදි පහන් යට සුමනාට දැනුනා
පෙරුමන් අතරේ සියුමැලි පැතුමක්
ඇගේ කුස තුල මෝරා තිබුනා

අනාරාධිතවම ඇයගේ කුස තුල
කව්දෝ පිළිසිඳ ගෙන තිබුනා
මිලාන වී ගිය සුමනාගේ ලෝකෙට
ජීවය ගෙනවිත් දීල තිබුනා
මෝරන කුස අතගාගා හිඳ 
සුමනා දරු නැළවිලි ගී කිව්වා
අනාරාධිතවම ආපු කුසුම දිනයක
සුමනට නොකියම ගිහිල්ල තිබුනා

කුසයට ආ කුසුම පරවගොස්
දුකටම සුමනා කෘෂ වනවා
සිටු ඇමතිවර රැවටුන රූපය
ටික ටික වැහැරී කුණු වනවා
මල් කළඹක් නොමැතිව දීග නොගිය ඈ
සුදු සාරියකින් හැඩ වනවා
ඈව කැපූ මොචරියේ කොලුවත්
ඇයගේ තනියට ඈ හා බුදියනවා
මල් කළඹක් අගේ දෑතේ නොතිබුණද
මල් වඩමක් ඈ වල ළඟ තිබුනා 

26 comments:

  1. ලොකු කතාවක්, කතා ගොඩක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් අවසානයක් තියෙන කතා ගොඩකින් එක කතාවක්.

      Delete
  2. සොමී.. මට හදිසිය කීවට උඹටත් හදිසිය මචෝ... මං මේම කිව්වෙ ඇයි දන්නවනෙ..
    කවිය ඇත්තටම ගති.. හැබැයි බොක්කෙන්ම කියන්නෙ පොඩි අවුල් ටිකකනෙැතිවම නෙවී...
    දවසක ආයෙ මේක එඩිට කරන්න හිත පහළ වේවා
    ජයෙන් ජය සුදා

    ReplyDelete
    Replies
    1. හදිස්සි නැද්ද සුදා කාලෙකින් ලියන්න ගත්තම, සමහරක් ඒවා සන්ස්කරනෙට වඩා අමුවෙන්ම රහයි කියලා හිතෙනවා බන්, අනේ මන්දා පහුගිය දොහෙම එඩිටින් පාරවල් කීපයක්ම කරලා තමා දැම්මේ, එත් අමු රහ තියන්න උස්සාහා කළා. ස්තුතියි මයියා.

      Delete
  3. දුක හිතෙන කතා මාලාවක් ...
    සුමනලා හැමදාමත් අපි අතරම..

    ජ ය

    ReplyDelete
    Replies
    1. සුමනලාත් අපි අතරේම ඉන්නවා අපෙන් හැංගිලා, අපෙන් කොන් වෙලා, ස්තුතියි විදානේ අයියා හැමදාමත් වගේ මේ පැත්තට ගොඩ වදිනවට

      Delete
  4. කතාවක් කවියකින් ...වචන ගොඩකින් ලොකු කතාවක් කියනවට වඩා මේ කවියේ තියන වචන ටික හිතේ රූපරාමු ගොඩක් මැවුව හැටි පුදුමයි මම කවියේ තාල ගැලපුම් පැත්තකට විසිකරලා කියෙව්වෙ .මන්දමානසික අය්ය හිනහෙන විදිහ ,මෝරන දරු ගැබ පිරිමදිමින් අනාගතේ හීන දකින ගැහැනියකගේ මුහුණ ,මෝචරියේ සුදු සාරියකින් හැඩවෙලා ඉන්න ගැහැනියක් ,කනත්ත ගාව පස් ගොඩක් උඩ පරවෙලා යන මල්වඩමක් ..කවිය කියවද්දී හිතින් මැවෙන මේ රූපරාමු වල හිත ගොඩක් වෙලා නැවතිලා තිබ්බ කිව්වොත් හරි.කවි ටික හිතට දැනුන .... තදින්ම .

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එකම ගැහැනියක් ජීවිතේ විවිධ මන්සන්ධි පසුකරන් යන විදිය තමා ලියුවේ, පොචි කවියක් අස්සේ ලොකු ජීවිත කතාවක්, ඇත්තටම ඒ ගහනියාව මැවිලා පෙනුනා නම් ඔබේ රස විදීම ගොඩක් ඉහලයි නංගි, ස්තතියි හැමදාම වගේ ගොඩ වෙලා අදහස් කියලා ගියාට.

      Delete
  5. පීඩිත පන්ති ජීවිත කතාවක් ගැන කියන්නෙ.රටේ එක කොටසක් හොඳට කාලා බීලා සැප විදින කොට තවත් කොටසක් අන්ත දුක් විදිනවා.ජනතාවට දිව්‍යලෝක සැප සම්පත්
    දෙනවා කියන පාලකයෝ බලයට පත් වුණාම තමුංගෙ අයට විතරක් දිව්‍යලෝකය පෙන්නනවා.සුමනලා වගේ අය හැමදාම අදුරේ..... ඒ යථාර්ථය සියුම්ව දැනෙන විදිහට කවියෙන් දක්වා තිබෙන විදිහ හරිම අපූරුයි....අතිවිශිෂ්ඨයි ..ඔබට සුබපැතුම් ...

    ReplyDelete
    Replies
    1. පීඩිතයන් තුලත්
      පන නල ගැහෙන
      ජීවිත තියෙන බවත්
      වා තලයට
      මුදා හැරෙන
      හුස්ම
      තියෙන බවත්
      මේ ලෝකයට
      තේරුම් ගිය දාට
      සුළඟ හමයි
      පීඩිතයන්ගේ
      දාහය නිවාලන්නට
      වැසි වසියි
      ඔවුන්ගේ කඳුල
      ලොවටම
      අරන් යන්නට
      අල්ල දොළ දිගේ
      කෙත්වතු
      සාර කරන්නට
      මල් පිපෙයි
      දාඩිය
      සුවඳ බව
      කියන්නට,
      එන්න
      පෙරමගට
      එවන් ලොවක්
      තනන්නට

      Delete
  6. ඇත්තටම ඔයා දක්ෂයි...කවියෙන් උත්තර දෙන්න තරම්...හැමෝටම ඒ හැකියාව නැහැ..ස්තුතියි පිළිතුරු කවියට...ආයෙ ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  7. සන්නාලියනේ ගීතය වගේ................ ජීවිත කතාව තමා මේ.... ඒත් ලෝකයේ පරණම රස්සාම කරපු සුවිශේෂී ජීවිතයක් ගැන උඹ හරි ලස්සනට අකුරු කරලා තියෙනවා... හිත ගිය තැන් කීපයක් ම තිබුණා....

    //හිසට ඉහලින් උන්නු තහඩු කොළ
    මලකඩෙන් බැට කාලා තිබුනා//

    //මන්ද මානසික සටන පැරදී
    අයියා වකුටුව වැටී හිටියා
    ජීවිතේ දුක නොදැනම වෙන්නැති
    උගේ මුහුණේ නිති හිනාම පිපුනා//

    //අනාරාධිතවම ආපු කුසුම දිනයක
    සුමනට නොකියම ගිහිල්ල තිබුනා//

    //ඈව කැපූ මොචරියේ කොලුවත්
    ඇයගේ තනියට ඈ හා බුදියනවා//

    පට්ටයි බං..... ලස්සනයි.... මොනවා කියන්නද වෙන... ළගදී කියවපු ලස්සනම ලස්සන කයිය...

    ReplyDelete
    Replies
    1. මචන් ලෝකේ පරණම රස්සාව කරපු නෙවෙයි කරන්න උන කෙනෙක් ගැන මචන්. ස්තුතියි මචන් අදහස් කියලා ගියාට.

      Delete
  8. කිසිදා ආදරයක් නොලද ජීවිතයක කතාව. හරිම අපූරුයි .

    ReplyDelete
    Replies
    1. මම වචන බර ගානකින් කියපු කතාව ඔයා //කිසිදා ආදරයක් නොලද ජීවිතයක කතාව// කියලා හරි ලස්සනට සාරාංශ ගත කරලා, ඒ වචන ටිකට හිත ඇදිලා ගියා, ස්තුතියි ඔයාට.

      Delete
  9. හරිම සංවේදී කතාවක් හරි අපූරුවට කවියක් කරන්න පුල්ලුවන් කියන්නෙ ඇත්තටම ලොකු දක්ෂ කමක්. අපූරු නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න කාලෙකින් නේ? මේ පැත්තට ඇවිත් අදහස් කියලා ගියාට ගොඩක් ස්තුතියි.

      Delete
    2. හ්ම්ම් .. සෑහෙන්න කාළෙකට පස්සෙ.. මාව මතක තිබ්බා කියන්නෙත් පුදුමයක්.. අද ඉදන් දිගටම එන්නම්කො..

      Delete
    3. එන්න එන්නෝ මේ පාරෙන් එන්නෝ :D

      Delete
  10. සංවේදීව දැනුනා... පද පේලි අතරේ බොහොම ගැඹුරු කතාවක් ඉස්මතුවෙලා තියෙනවා... අපූරුයි .

    ReplyDelete
    Replies
    1. සංවේදීව දැනෙන්නේ ඔබත් සංවේදී නිසයි, ස්තුතියි අදහස් එකතු කලාට.

      Delete
  11. අපුරු පද පෙළක් සොමි. සුමනලා කොයි තරම් ඇතිද මේ ලෝකේ හැමදාම දුකම ජීවිතය කර ගත්තු.ජිවිතේ කඳුළුම බොන.මේ පද පේලියෙන්,පේලිය කියන කතාව මැවිලා පෙනුනා.

    ReplyDelete
    Replies
    1. සුමනලාගේ ජීවිත කවියන්ට අපිට කවිම විතරයි බන්, එතනින් එහාට දෙයක් නැහැ. එකයි හැබෑම ඇත්ත.

      Delete
  12. හිතට වැදුනා පොඩ්ඩෝ

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...