Saturday, October 31, 2015

මල් වඩමකින් නුඹේ තනිය නිවේදෝ



හැව්ලොක් සිටිය වාගේ උසටම
හීන කන්දක් සුමනා දැක්කා
වත්තෙ මුඩුක්කුවෙ ලෑලි පෙට්ටියේ
ගැහෙන ජීවිත ඒවා අතරේ රැඳී තිබුනා
හිසට ඉහලින් උන්නු තහඩු කොළ
මලකඩෙන් බැට කාලා තිබුනා
අම්මත් මරන් උපන් එකී ලෙස
වත්තේ ඈටත් නමක් තිබුනා

මන්ද මානසික සටන පැරදී
අයියා වකුටුව වැටී හිටියා
ජීවිතේ දුක නොදැනම වෙන්නැති
උගේ මුහුණේ නිති හිනාම පිපුනා
කාසේ රෝගෙට උඩටම අදිමින්
ආච්චිත් රෑ තිස්පැය ගෙව්වා
සුමනා ගැන හිතිලා වෙන්නැති
පපුවත් ඇගෙ ගොර හඬකින් හැඬුවා

ඇඟේ මසටත් මිලක් ඇතිබැව්
අම්බපාලිත් දැනන් උන්නා
ඒවගක් දැනගත් දිනක ඉඳලා
සුමනටත් අඹවන ඇරී තිබුනා
සිටු ඇමතිවර නාදුනන හඬවල්
දුරකතනයකින් ඈ හා කතා කෙරුවා
මොහොතට සුවදෙන චංචල රසයේත්
මිල ගණන් උන් හෙට්ටුම කෙරුවා

සඳක් නොමැති රෑ තනිය මකන්නට
සුමනාට බොහෝ උන් නිතරම හිටියා
තරු එළියක් වත් උන්ලග තිබුනද
ඈ හට පොඩියට සැකයක් හිතුනා
වෙඩිමක් නැතිවට දීගෙක යන්නට
සුමනට හිත් කොන අසා තිබුනා
දීගෙක නොගියත් අතිනත යන්නට
සුමනගේ දයිවය කියලා තිබුනා

ඈටත් ඇගෙ හිමි සඳකට තුරුලුව
මධු රස විදින්නට අසා තිබුනා
හිමි සඳ නැතුවට මධු රස බොන්නට
මත් බඹරුන් බෝ පියඹා ආවා
පන්සලේ බෝ ගසේ නොමැති සිසිලක්
වීදි පහන් යට සුමනාට දැනුනා
පෙරුමන් අතරේ සියුමැලි පැතුමක්
ඇගේ කුස තුල මෝරා තිබුනා

අනාරාධිතවම ඇයගේ කුස තුල
කව්දෝ පිළිසිඳ ගෙන තිබුනා
මිලාන වී ගිය සුමනාගේ ලෝකෙට
ජීවය ගෙනවිත් දීල තිබුනා
මෝරන කුස අතගාගා හිඳ 
සුමනා දරු නැළවිලි ගී කිව්වා
අනාරාධිතවම ආපු කුසුම දිනයක
සුමනට නොකියම ගිහිල්ල තිබුනා

කුසයට ආ කුසුම පරවගොස්
දුකටම සුමනා කෘෂ වනවා
සිටු ඇමතිවර රැවටුන රූපය
ටික ටික වැහැරී කුණු වනවා
මල් කළඹක් නොමැතිව දීග නොගිය ඈ
සුදු සාරියකින් හැඩ වනවා
ඈව කැපූ මොචරියේ කොලුවත්
ඇයගේ තනියට ඈ හා බුදියනවා
මල් කළඹක් අගේ දෑතේ නොතිබුණද
මල් වඩමක් ඈ වල ළඟ තිබුනා 

Wednesday, October 28, 2015

අයිස් ක්‍රීම්



ලපටි සිත් මත
විනොදාස්වාදයේ
සතුට දනවන
මිහිරි රසයන්ගෙන්
දිවග කලතන
අරුමෝසම් සිහිනයන්හි
නේක වර්ණයන්
නෙතග දල්වන
උදා හිරු කිරණට
මොහොතකට පෙර
හීතලට
ලපටි දෑතක් මත
මිදුණු පිනි බිඳුව

පෙම්වත් දැහැන් මත්තට
ආලයේ සුවය ගෙන එන
පෙම්වතියක් වෙනුවෙන්
පෙම්වතෙකු පුදදෙන
ප්‍රේමයේ සීතලින්
මිදී සැමදා ඉන්නට තතනන
නුමුදු
ගිනිගහන දහවලේ
උණුසුමත් පරයා නැගෙන
නුරාවේ ගින්නෙන්
දෑත් මත්තෙම දියව යන
ඉමිහිරිම මධු බිඳුව

වියපත් දනන් හට
ලෝකයම මුලා කර
කාලය දුවන බව
පසක් කර දී
ගෙවුණු අතීතයේ
මිහිරි සේම අමිහිරිද වූ
මතකයන් එකින් එක
ගෙනහැර මවා පා දෙමින්
බැසයන හිරුගෙ තනියට
මහලු දෑසකින්
මහත් ස්නේහයෙන්
කොපුල මත්තෙන්
ගලා ගිය
කඳුළු බිඳුව
Related Posts Plugin for WordPress, Blogger...