Wednesday, October 8, 2014

කරත්ත කවි කියමුද?


අව්ව සැරයි ගමන දුරයි 
හනික යමං මගෙ සුද්දෝ 
උඹත් ඉතිං එකතු වෙයන් 
පමා නොවී මගෙ රත්තෝ 

කුර ගෙවිලා පය දනවා 
නොදන්නවා නෙවේ ඉතිං 
ඊට වඩා හිත දනවා 
ඉකිබිදින්න බැරිලු ඉතිං 

කොච්චර දුර ඇවිද ගියත් 
තවමත් අපි එක තැනමලු 
එතනින් තව කොහෙවත් 
යන්න නැතිලු යන්න බැරිලු 

කරත්ත කවි නොකීවාට 
දහසක් කවි හිතේ තියෙයි 
ඒ කවි වල දුක අහන්ට 
අපේ සවන් අපට තියෙයි 

හනික යමන් පමා නොවී 
පමා වුනොත් පාඩු ගොඩයි 
එහෙම උනොත් මගෙ දෑතට 
ලැබෙන කාසි පනං අඩුයි

32 comments:

  1. කාසි පනම් අඩු වුනාට
    කොහොම නොසලකා ඉන්නේ
    අනේ අපොයි හිත හදාන
    කොහොම මසට දක්කන්නේ

    වේලක් හැර වේලක් කා
    මගේ මුළු පවුලම රැක්කේ
    ඒ පිනෙන්ම මතු බවේදී
    උඹ මනුසත් බව ගන්නේ

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++

      මතකද මේ පැදි පෙළ ගුණදාස අමරසේකරයන්ගේ

      යමන් කලුවේ ගෙදර යන්න කන්ද උඩින් අඳුර එනව
      උඹට වගේ මගේ ඇඟටත් හරිම මාන්සිය දැනෙනව
      අඳුර තමයි අපේ ඇඟපත නිවන්න දෙවියෝ එව්වේ
      හනික යමන් ගාල් වෙන්න පිදුරු ගොඩේ ගෙයි මුල්ලේ

      ඉස්කෝතුයි ඉවාන් අයියා

      Delete
  2. සොමියෝ...... අතීතය මතක් උනාද...? දැන් කරත්ත නැනේ..... ඉතින් කොහොමද තව කරත්ත කවි බිහි වෙන්නේ....? හරකා ගැන කවි ලියයි..... ඒ උගේ දුක ගැන.....විදවන ජීවිතය ගැන. කොයි වෙලාවේ උස්සං ගිහින් මසට විකුනනයිද කියන එක ගැන.
    කවිය ලස්සනයි ... සොමි....

    ReplyDelete
    Replies
    1. මුල කොහොමද අක්කේ අමතක වෙන්නේ? අපේ අම්මලාගේ මහා ගෙදර හිටපු වැස්සි තමා කිරි ටික දුන්නේ, ගහට කොළට ගොම පොර ටික දුන්නේ, තාමත් ඒ පැති වල කරත්තයක් දෙකක් බරබාගයක් දැක ගන්න පුළුවන්, කොළඹත් බුමිතෙල් බැරලයක් බැඳන් යන කරත්තයක් ඉඳලා හිටලා දකිනවා, ඒ කාලේ මතක් උනා අක්කා අද දර කරත්තයක් අහම්බෙන් දැකලා

      Delete
  3. මසට හදන එක වෙන කතාවක්.. ඒත් මේ ගෙදර දරුවා වගේ හදපු උන් කොහොම මස් කඩේද දන් දෙනවද මන්දා..

    අපේ සීයා ගාව උන්න උන් නම්.. වලලලා.. පාංශූකූලෙත් දුන්නා..

    ReplyDelete
    Replies
    1. ඔව් මේ මිනිස්සු කවදාවත්ම එහෙම කරයි කියලා හිතන්න බැහැ, එත් හරක් හොරුන්ගෙන් තමා බේරගන්න බැරි, මඩුවේ ගැටගහලා ඉන්දැද්දී කකුලේ මස් ගාතයක් කපන යන එවුන් නේ ඉන්නේ.

      Delete
  4. දැන් ඔයා කරත්ත දක්කනවද? :D

    ReplyDelete
    Replies
    1. දක්කන්න හිතෙනවා පොඩ්ඩි අක්කා, කොහොමද අපේ මාමිවයි අනිත් පැත්තෙන් හෙන්ඩු මාමිවයි බැඳගෙන දක්කන් යන කොට :D

      Delete
  5. සොමියා..............

    නියම චින්තනයක්... දැකපු දසුනක් නිර්මාණාත්මක ව ගොඩනගලා. ඒ විතරක් නෙමෙයි දැකපු දුකක් තමන්ගේ කරගෙන හිතලා. ඕක තමයි කවි කාරයෙකුගේ මනුස්සකම.. උණුවෙන හදවත...

    //කරත්ත කවි නොකීවාට
    දහසක් කවි හිතේ තියෙයි
    ඒ කවි වල දුක අහන්ට
    අපේ සවන් අපට තියෙයි//

    දාහක් දේවල් පද හතරකින් කියලා තියෙන අපූරුව............

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කු.ගෑ,ගී.ප

      ඔය කවියෙන් මම කීවේ අද අවාරෙට පොල් වගේ හරි දකින කරත්ත එලවන මිනිස්සු කරත්ත කවියක් කියාගෙන යනවා දැකලා නැති නිසා, මොකද එකත් වෙන්නම බැරි දෙයක්, ඒ ඇයිද කියනවානම් ඒ කාලේ හිටිය සරල ජීවිත ගෙවලා ඒ ජීවන විඳීම සුන්දරත්වයක් කරගත්තු මිනිස්සු, දැනෙන දුක කාන්සිය පද වලට හරවපු මිනිස්සු දැන් නැහැ. එක තමයි පළමු පදෙන් කිව්වේ

      එතකොට දැන් ජීවිත කොච්චර සංකීර්ණ වෙලා සල්ලි පස්සේ දුවන ගානට සල්ලි මනුස්ස ජීවිත පාගලාම දාල ඉවරයි, ඉතින් කරත්තේ යනකොට කරත්ත කවියක් නොකීවාට ඒ මිනිස්සුන්ගේ හිත වල ඊට වඩා දේවල් තියෙනවා, අද කීයක් හම්බවෙයිද? දරුවට බෙහෙත් ටික ගන්න ඇති වෙයිද? වගේ ජීවිත ප්‍රශ්න වගේම මධ්‍යම පාන්තිකයෙක්නම් (ඒ කියන්නේ ගෙදර රුප පෙට්ටියක් තියෙනවා නම්) අනිවාර්යයෙන් අර නාටිටියේ මොකක් වෙයි? ඔය වගේ තමන්ට කිසි සෙත් අදාළ නැති දෙවලිනුත් මනස පිරිලා, ඉතින් බහුතරයක් සංකීර්ණත්ව තියෙන්නේ මනුස්ස හිත වල එහෙමත් නැත්තන් ඔලුවේ. එල තමයි දෙවැනි පදෙන් කියන්න හැදුවේ

      එතකොට ඔය දුක් කම් කටොලු සියල්ල අහන්න රටේ සංචාරය කරන ගජබා රජ පාලනයක් නෙවෙයිනේ දැන් තියෙන්නේ, එච්චර ඕන නැහැ අපි ඇත්තක්ද බොරුවක්ද දන්නේ නැහැ, සමහර විට ඇත්ත වෙන්න පුළුවන්, ඒ වගේම සමහර විට බොරුව වෙන්න පුළුවන්, ඒ මිනිස්සු කර ගන්න දෙයක් ගෙනියාවී (මොකද ක්රියාවෙන්නේ වසලයෙක්ද නැද්ද කියලා තීරණය වෙන්නේ) ඒත් මේ පද දෙක ඇහෙන කොට අද සමාජේ සංවේදී වෙන්නේ කීයෙන් කී දෙනාද? එක එහෙම නේද?

      අනේ මහතුනේ මදකට වෙන්න සමා
      මගේ දුක කියමි ඔහෙලට සිරස නමා

      ඉතින් එහෙව් කොට ඒ මිනිස්සුන්ගේ කටින් පිටවෙන හීල්ලීමත් ඇහෙත් ඇහෙන්නේ ඒ මිනිස්සුන්ට විතරයි, එතනින් එහාට තව කවර කතාද? ඒ ගැන තමයි තුන සහ හතර වෙනි පදෙන් කියන්න හැදුවේ.

      මගේ කවි මමම විචාර ගන්නවද මන්දා, කමක් නැහැ

      එත් ඒ සියල්ල ඔබ මා විෂයෙහි මා දැක්ක අයුරින් මා සිතන අයුරුන් දැක්කද මන්දා, කෙලෙසින් හෝ මේ පැදි වලින් රසවිඳීමක් ලැබ ඒ මනුස්ස ජීවිත වගේම දුක් විඳින ඒ තිරිසන් ජීවිත ගැන සංවේගයක් ඇති වුනානම් මට සතුටුයි.

      ජය වේවා!!!

      Delete
  6. මේ පද පෙල කියවන කොටම මටත් මතක් උනේ

    යමං කළුවේ ගෙදර යන්න කන්නද උඩින් අඳුර එනවා....

    මෙන්න මේ පැදි පෙළ.. ඉස්සර පදෙන් පදේ කටපාඩම් කල හැටි මතක් උනා...
    ඔබගේ පැදි පෙල අවසානයේ දී මට දැනුනේ ගවයාටත් වඩා අසරණ මිනිසුන්ද සිටිනා වගයි..

    අගෙයි පැදිපෙල

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. එකනේ විදානේ අයියා ඔය පද ටික අපිත් පාඩන් කරා, පාඩම් කරාට වැඩිය අපේ සාහිත්‍ය සර් අපිට රස විඳින හැටි කියලා දුන්නා, එකනේ මතක තියෙන්නේ

      යමන් කලුවේ ගෙදර යන්න කන්ද උඩින් අඳුර එනව
      උඹට වගේ මගේ ඇඟටත් හරිම මාන්සිය දැනෙනව
      අඳුර තමයි අපේ ඇඟපත නිවන්න දෙවියෝ එව්වේ
      හනික යමන් ගාල් වෙන්න පිදුරු ගොඩේ ගෙයි මුල්ලේ

      හරක්ට වැඩිය හරක් වෙච්ච මිනිස්සු ඉන්නවා (හරක් කියන වචන යෙදුනු තැන දෙක හා මතු පිට අර්ථයෙන් එසේ නොකී බව කරුණාවෙන් සලකන්න) :D

      ඉස්කොතුයි අයියා ජය වේවා!!!

      Delete
  7. ගවයා ගැනයි මනුස්සයා ගැනයි දෙන්නා ගැනම දුකයි!

    පද ටික අපූරුයි.

    (අදත් අර ප්‍රශ්ණෙ ආවා නේද?)

    ReplyDelete
    Replies
    1. ./////(අදත් අර ප්‍රශ්ණෙ ආවා නේද?)////

      ඇයි හරකා රිවස් එකේ ගියාද?

      Delete
    2. ප්‍රියා අයියා, දුක තමා , අයියගේ බ්ලොගේ මකුළු දැල් කඩලා ගමු නේද දැන්? මොනා කරන්නද ඒ ප්‍රශ්නේනම් දුම්මල ගහලවත් යවන්න බහ වගේ :(

      Delete
    3. අරූ අයියා ප්‍රශ්නේ හරකාගේ නෙවේ බ්ලොගේ දාන පොස්කටුව රෝලවල් වලට අප්ඩේට් වෙන්නේ නැහැනේ. ටෙස්ටින් කොරලා තමා පබ්ලිෂ් කරන්නේ

      Delete
  8. බොහෝ දුරට ඇහැ ගැටෙන්නේ ප්‍රේමයේ නීරස හෝ රස ගැන ලියවෙන කවි නිර්මාණනේ. මට මේක ලොකු හැඟීමක් ඇතිකරා කවියක් මේ අරුතින් කියවන්න ලැබීම නිසා. කවියන් වෙනස් වෙනස් මාවත් ඔස්සේ කවි ලිවිය යුතුයි කියා මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. අරු අයියා සාදරයෙන් පිලිගන්නවා, අදහස එක හෙලා පිලිගන්නවා.

      Delete
  9. ජීවන බර අදින්න සත්තුවෙලත් කොයිතරම් සහයක් දෙනවද ... වෙනස් ආරෙක ලස්සන පද ටිකක් ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි

      තන්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
      කටු කැලේගාලේ නොලිහා වද දෙනවා
      හපුතලේ කන්ද දැකලා බඩ දනවා
      පව් කල .ගොනෝ ඇදපන් හපුතල් යනවා

      Delete
  10. දුන්හිඳ පල්ලමේ තවමත් කරත්ත යනවා. හිටපු ගමන් අතීතෙ මතක් වෙලා දොඩමලු වෙන මගේ තාත්තා ඉස්සර තවලම් අරන් කඳු හෙල් බඩ වැටි ඕවිටි දිගේ ගිය හැටි කියල දෙනවා. ඒ හරිම අපූරු නිර්ව්‍යාජ සංස්කෘතියක්. පොළොවෙ පයගහල ජීවත් වෙච්ච සමාජයක්.

    බැරි බර කරේ තියන් ..
    දෙපයට වාරු අරන් අපෙ බඩ කට පුරවනවා
    රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින්
    හපුතලෙ කන්ද නගිනවා...

    මූ පොඩි පැටිය කාලෙ මගෙ හොඳ තරුන කාලෙ
    තවමත් මට සිහිවෙනවා
    ළිඳ ලඟ හරක් ගාලෙ සෙල්ලම් කෙරුව තාලෙ
    අම්මප පුදුම හිතෙනවා
    වෛරෝ නුබ නාඩන් තව පොඩ්ඩක් නැගපන්
    මම උබට විවේක දෙනවා
    වලිගය කරකවපන්..හොඳ හැටි ගාය ගනින්
    ඔන්න බොල කරත්තෙ යනවා...

    පොත්ටික පොඩි කෙලීට අරගෙන දෙන්නට මට
    දෙයිය මගෙ මූන බලනවා..
    පාසල වෙත යන්නට මිරිවැඩි සඟලක් මම
    පුතේ උබට අරගෙන දෙනවා..
    උබ පෙර ආත්මයක කර ඇති මහ පාපෙට ණය මට
    තවමත් ගෙවපන්
    මේ මහ ස්ංසාරෙට නොදන්න මනුස්සකම
    උබවත් වටහල දීපන්.......

    උබට වාරු නැතිවෙනකොට..
    උබ නාකිවී එනකොට මම උබගැන දුක් වෙනවා..
    උබ අඩපන වෙනකොට. මස්කඩ මුදලාලිට ..
    උබේ වටිනකම වැඩිවෙනවා..
    උබයි මට කන්න දුන්නෙ..උබයි මට බොන්න දුන්නෙ
    ඒ ගැන මම දිවුරනවා..

    නුබෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න
    මම උබට පොරොන්දු වෙනවා !

    පද රචනය, ගායනය හා සංගීතය : මැක්සි ජයවීර

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම, ඒ මිසිස්සු දුක් වින්දද්ත් ඒ වගේම තිරිසන් සතාගේත් දුක දනන් හිටියා. සින්දුවට ස්තුතියි

      Delete
  11. //දුන්හිඳ පල්ලමේ තවමත් කරත්ත යනවා// බදුල්ල- කන්දෙකැටිය- මහියන්ගනය

    ඒවගෙ සමහර වෙලාවට spare (trainee?) හරකෙකුත් බැඳගෙන යනව

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ට්‍රේනි එකක්ද මන්දා, අරගොල්ලන්ට විවේකයක් දීල වැඩේ ශිෆ්ට් කරන්න ගෙනියනවා වෙන්න බැරිද? ඔව් තවලම් කඳු බද ගැන විදියට ට්‍රේන් එකක් දෙන්න ඕනා.

      මතකද කේ ජයතිලකගේ චරිත තුනක් එකේ ගොයම් මඩින කොට අම්බරුවෝ ගැට ගහන්නේ නාකි උන් එක තැන කැරකි කැරකි අනිත් උන්ට මග පෙන්නන, රවුම හරියට ගෙනියන්න පුළුවන් වෙන්න, ඒ වගේම තරුණ උන් ඈතට වෙන්න.

      Delete
  12. කරත්ත කවි අහනවා තියා කරත්තයක්වත් දකින්න නැහැනේ දැන්.හැබැයි හරක් නම් ඕනේ තරම්

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් මොකද කරත්ත නැත්තේ, කරත්ත තියෙනවා හැබැයි හරක් හරි ගණන් මේ දවස් වල, දියවන්නාව පැත්තේ ගියා නම් ඕනා තරම්.

      Delete
  13. කලින් දාපු පොස්ටුවේ කවිටිකයි මේ කවි ටිකයි අතරේ වෙනස .... මේ කවි කියවද්දී හිතටත් මාර සැහැල්ලුවක් දැනුනේ ..වෙනස ..වර්තමානය සහ අතීතය හ්ම්ම් .... කවි ටික නම් ලස්සනයි අය්යේ කාලයක් යද්දී ඔය කවිටික විතරක් ඉතිරි වෙයි කොහේ හරි කෞතුකාගාරයක ඔය අරන් තියන පින්තුරේ අඹල තියෙයි අනාගතේ පොඩි එවුන්ට පෙන්නන්න. අමරසිරි පීරිස් ගායකයා ගායනය කරන "කවුරුවත් නෑ කවුරුවත් නෑ " ගීතයේ ඉන්න පාරුකාරයාටම වෙච්චදේ කරත්තකාරයට වෙලා.. ඒකයි ඇත්ත. ඔයාගේ කවිවලට ඔයාම විචාර ලිව්වට නරක නෑ ඇත්තටම ඉහලින් ඔයා ලියල තියන විචාරේ කියෙව්වම හිතුනේ ඔයා ලියන සමහර පදවැල් ලොකු අර්ථයක් හිතේ තියන් ලියල කියල .ඒවා තේරුනේ ඔය විචාරේ කියවද්දී . ගිරය කෙටි කතාවෙත් එහෙම ලියපු තැන් ගැන ඔයා කියල තිබ්බ .. කලාකෘතියක් එක රසවිඳින අයගේ කෝණ වලින් දකිනවා වගේම කලාකාරයාගේ කොණෙන් දකිනකොට එකේ ලස්සන අගය තවත් වැඩි ......

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තුතියි නංගියෝ පද පේලි ටික කියවලා එකතු කරපු අදහසට, අපි ඒ කියන්නේ මමයි අයියයි ඉස්සර අම්මලාගේ මහා ගෙදර යන ඒ කියන්නේ අපේ ගමේ ගෙදර යන්නේ මාතරට යකඩ යකාගේ ගිහින් එතනින් ලංගම යකඩ බස් වල, ඒ කාලේ මාතර බස් සෙසම තිබුනේ සනත් ජයසුරිය පිට්ටනියේ, ලංගම යකඩ බස් තාමත් මතකයි. ඉතින් මාතරින් බැහැලා අපි බස් ස්ටේසමට යන්නේ බක්කි කරත්තෙන්. ඒ ගම නම් කොහොම අමතක කරන්නද? ගමේ ගියාම වැස්සියි වැස්සිගේ පැටියයි. සෙල්ලම් කෝටියයි.

      මන් දකින විදිය මොකක්ද කියලා විචාරය හරහා කියාගන්න පුළුවන් උනාට එක එච්චර හොඳ නැහැ කියලයි මට හිතෙන්නේ. නිකන් තමන්වම අගය ගන්නවා වගේ වැඩක්.

      නංගිගේ කතාව ඇත්ත. සුන්දර අතීතයක අවසන් උරුම කරුවෝ වෙච්ච අපි ඒ මුහුණ දෙන අනාගතයත් එක්ක ඒ දෙක කිරලා බලනවා, මගේ තරාදිය නම් තාමත් ඒ පැත්තට බරයි. අන්තිමේ පාරු කාරයින්ට වෙච්ච දේම මෙයාලටත් වෙනවා. සංස්කෘතියන් වැනසෙමින් නව සංස්කෘතියන් බිහිවෙනවා.

      Delete
  14. ඔරිමජිනල් කරත්ත කවි ටිකක් තිබුනා, හදිසියට හොයා ගන්න බෑ.

    කාලෙකින් මං දැකපු වෙනස්ම ආකාරයේ සිතුවිල්ලක් කැටි වුනු පද පෙලක් මේක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන අයියා. වෙනස් පාරක් තොර ගත්තා.

      Delete
  15. උඹේ කයි පෙල මට ටිකක් පරණ කථාවක් මතක් කලා. අපි පොඩි උන් සන්ධියෙ ගම්පහ විජයරාම පාරෙ අම්මගෙ මහ ගෙදර ඉදන් අපේ කිරි අම්මා දර පටවපු කරත්තයක් අපේ ගෙදරට එව්වා මාස 6 කට වතාවක් වගේ. මේ කරත්තෙ ඩේවිඩ් සීයගෙ. හොද විශාල ගොනෙක් තමයි කරත්තෙ ඇද්දෙ. ඩේවිඩ් අයියත් කීයක් හරි හොයාගන්න ඕනෙනෙ කියලා තමයි ඒ කරත්තෙටම මේ ගමන කථා කලේ.

    කිලෝමීටර් 5 කට මදක් වැඩි දුරක් ගෙවලා අපේ ගෙදරට කරත්තෙ එද්දි ගොනා කට දෙපැත්තෙන් සෙම පෙරාගෙන එන්නෙ. මගෙත් මලයගෙත් පුංචි හිත් වලට දුක වාවන්නෙ නෑ. අපි දර බාගෙන අවසන් උන ගමන් ගොනාව ලෙහන්න කියලා ඩේවිඩ් සීයාට බල කරනවා....ඒකාව ලෙහුවට පස්සෙ කන්න තණකොල වගේම වෙනත් වල් කොලත්...බොන්න ලොකු බේසමකට වතුරත් තියනවා...අනේ සතා ඒවා කාලා බීලා තණකොළ ගොල්ලෙ වැතිරිලා ඉන්නවා...කොච්චර අමාරු ඇතිද...මගේ හිතට අදටත් මේ මතකය කම්පනයක් ගේන්නෙ.....කිරි අම්මට අපි බල කලා ආයෙ මේ සතා පිටේ දර එවන්න එපා කියලා....එදායින් පස්සෙ ඒ වැඩේට ලොරියක් තමයි පාවිච්චි කලේ.....අද නම් ඩේවිඩ් සීයා වගේම අපේ කිරි අම්මත් එලොව ගිහින්....සමහර විට බර ඇදපු ගොනාත්....

    ReplyDelete
    Replies
    1. හපොයි, මමත් දැකලා තියෙනවා නාහෙට ලනුව දාල ඔය වගේම සේම පිට වෙද්දී බර අද්දවනවා ඔය වගේ සත්තුන්න්ට කියලා, අපේ ගෙවල් ළඟ තියෙන පිට්ටනියේ බඳිනවා මී හරක් යාළුවෙක්ව, තව තැන තැන පටවුයි එලදෙන්නුයි ඔක්කොම කලවමේ, අර මී හරකා අපේ තාත්තත් එක්ක හේනට යාලුයි අයි උදේ දවල් හවස වතුර දෙන නිසා, අම්මේ තාත්තා වතුර බාල්දිය අරන් එනකොට උඩ පැනලා නටලා වලිගෙ කෙලින් කරගෙන දාන සෙල්ලම්.

      හරියට වතුර ඕනා වෙලාවට එකා ගහනවා එලාම් එක අපේ ගේ පැත්ත බලාගෙන. ඉඳලා හිටලා කොස් පලුවක් දෙකක් දෙනවා. පත පත ගාල ගිලිනවා ඇහැත් ලොකු කරන බලාගෙන. ඒ යුගය ගෙවිලා දැන් යකඩ හරක් තමා පාරේ ඉන්නේ. ඇත්ත හරක් ඉන්නේ මස් කඩේ කොක්කේ.

      Delete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...