Monday, October 27, 2014

ලයියාගේ සිහිනය (true stories behind the green field)

සෑම දිනක ම ලෝකයේ සැබෑ ම සත්‍ය කතා සිදු වන අතර ඒවායින් බහුතරයක් කවුරු වත් මීට කලින් නො දැක ඇතුවාට කිසිදු සැකයක් නොමැත. එතරම් ම වැඩි කාලයකට  පෙර නොව දකුණු අප්‍රිකාවේ සවානා  බිමක විසූ මව්වරුන් දෙදෙනකුගේ බලාපොරොත්තුවේ කතාවයි මේ. සෑම විටම ඔවුන්ගේ ජීවිත සුරැකී ඔවුන් සතු  තිබුණේ අසාමාන්‍ය ධෛර්‍යය මතය.

කඳුකරයේ නො දන්නා ඉසව්වකින් ඇරඹී මේ තැන්න හරහා වක ගැසෙමින් දඟර දමමින් ගලා ගිය ගංගාව ඔවුන්ගේ රාජධානිවල දේශ සීමා මායිම් කර තිබුණි. එය ප්‍රබල රාජධානි දෙකක් අතරින් නිදහසේ ගලා ගීයේ ය. දකුණු ගංගා රාජධානිය ගත් කල එහි අභීත සිංහ ධේනුවන් සය දෙනෙකුත්, උන්ගේ සුරතල් බිලාල කොලු කෙලි පැටික්කන්ගේ දඟකාර කම් වලින් පිරී ඉතිරී තිබුණි. සෑම තැනකම පැතිර තිබුණේ ත්‍රාසය හා සැකය පමණි. ඒ ගැන මේ කොලු කෙල්ලන්ට නම් වගක් නැති ගානය. උන් එකම පෙළපතක උරුම කරුවන් ය. කොට්ටා සහිත පුංචි පාද හිමිහිට බිම තබමින් විමතිය පිරි දෑසින් කොටු කෑල්ලකට එරවුම් ගෙරවීම් කරනා පැටියෙකි. විටෙක කොටුවට හිමිහිට තට්ටුවකි , තවත් විට පිම්මකි, මොහොතකින් ඌ මවු තුරුලේය. ආදරණීය ලෙව කෑම් වලින් පැටවා නැහැවී යයි.

ලයිලා, සියල්ලන් අතර පරිණත හා වැඩිමහල් ම දඩයම් දිවියේ අත්දැකීම් බහුල ම එකියයි. ලයිලා මාස හයක් වයසැති මාරාගේ මෑණියන් ය. සවානා බිම හොඳින් වැඩී ඇති තැන පඳුරු අතරින් කොට්ටා සහිත පාද පොලවටද  නො දැනෙනා සේ යන ගමන් විලාසය ඇය මාරට කියා දෙමින් උන්නා ය. මාරාද මව පසුපසින් වැටී ඔහේ ඇවිද යමින් සිටියා ය.

ලයිලා හා මාරා
මාරා
මේ අතර තවමත් තමන් උපන් ලෝකය ගැන කිසිවකුත් නො දන්නා පැටවුන් මවගේ වලිගය සමග සෙල්ලම් කරති. පසු කලෙක මහා සිහ නද නගන ගෙල වටා කළු ලොමින් පිරී යන මුන් දැන් තබා ම කෑස් කෑස් හඬින් තම උගුර පාදා ගන්නවා දෝ කියා වරෙක සිතේ. ඒ කෑස් ගෑමත් සමග බිම පෙරලී යන පුළුන් බෝල එතරම් ම සුරතල් ය. පාද හතරම උඩ හිඳුවන් එකෙක් තවකෙකුට යටත් වී ඇත. දිනපු එකා තව තවත් දුර්වල යා සපා කයි. දුර්වලායාද සටන අතහැර නොමැත, උගේ කෑස් හඬ තවත් තෙදවත් වේ.

මේ දඟකාර කොලු කෙල්ලන් රැක බලා ගනිමින් කරන ජීවන අරගලයේ දී උන්ගේ උදර පෝෂණය වනුයේ මේ සිංහ ධේනුන් රැල කරන ලද සමූහ ප්‍රයත්නයක අවසන් ඵලය එලා ගත් අසරණ හරිත බුක්තිකයාගේ මාංශයෙනි. නමුත් උන්ව කිසිදු විටක දඩයමට නොයා කම්මැළි කමින් ඈනුම් අරිමින් මේ රාජධානිය පාලනය කරනුයේ රාජධානියේ පාලකයා විසිනි.

ෆෑන්ග්, උගේ යටි හක්කේ කැඩී ඇතත් විදුරු මසේ එල්ලෙමින් තිබෙන දත උගේ වීරත්වය කියා පායි. ඒ අතීත සටනක මතක සැමරුම් ය. ඌ මේ කුඩා පැටවුන් සියල්ලගේ පියාය. අන්තඃපුරයක් බඳු සිංහ ධේනුන් පිරිවරා ඌ රාජකීය දිවියක් ගෙවයි. අග රැජින ලයිලාය. මාරා උගෙන් පසු කිරුල හිමි කුමරිය විය.

කැඩුණු දත සහිත ෆෑන්ග්
රවුම්  කන් පෙති වලින් සහ උද්යෝගී දෑසින් යුතු මාරට නම් ලොව සිටින හොඳම තාත්තා ෆෑන්ග් ය. ෆෑන්ග් මාරා සහ ලයිලාගේ ආරක්ෂාව සොයා බැලුව අතර . ඒ වගේම උගේ භූමියද ආක්‍රමණ වලින් රැක ගත්තේ ය.
මේ දඩ බිම් හරහා සෑම වසරක් පාසා ම ආහාර සොයා හරිත බුක්තිකයින්ගේ ශ්‍රේෂ්ඨ සංක්‍රමණය සිදුවේ. සැබවින්ම ඒ මිලියන ගණනක් වූ මස් පර්වත සිංහ දඩ බිම් හරහා ජීවිතයත් මරණයත් අතරක සටනක නියැලෙමින් සංක්‍රමණය කරනු ලැබේ. ෆෑන්ග් අනෙකුත් ප්‍රාදේශීය සිංහයන්ට ඇසෙන්නට දකුණු රාජධානියේ එකම පාලකයා තමන් බව කියමින් තමන්ගේ සිංහ නාදය සැතපුම් ගණනක් දුරට ගුවනේ පා කර හැරියේ ය.

හරිත බුක්තිකයන් සංක්‍රමණය වෙමින්
 මේ භූමියේ ම ගඟ දිගේ උතුරු කොටස වෙනස් ම බළල් වර්ගයට අයත් බැළලියක් තම දඩ බිම් කර ගෙන සිටියා ය. ඇය මිහිපිට වසන වේගවත් ම සත්වයායි. ඇය චීටාවෙකි. ඇගේ ජීවිකාව සින්හයින්ගෙන් සෑම අතින් ම වෙනස් වූ වකි. මන්ද යත් ඇය ජීවත් වූයේ සමූහ වශයෙන් නොවූ නිසා ය. ඇය සීටා ය. ය සතුව රහසක් තිබුණි. එතරම් කාලයකට පෙර නොව මෑත දින කිහිපයකට කලින් ඇය ලොම් ගුලි පහකට මේ තෘණ බිමෙහි දී උපත දුන්නා ය. උන් තවමත් දෑස් විවර කර නොමැති, පිය සරණත් නොමැති උන්ට ඇති එකම සරණ තම මව සීටා ය. කෙඳිරි ගාමින් උන් සැවොම එක පොදියට මවට තුරුල් වෙමින් කිරි උරා බොන අයුරු සැබවින්ම අපූරුය.

සීටා
සීටාගේ ලොම් ගුලි
සීටා සහයකයෙකු නොමැති වැන්දඹු වීදැයිද නො දන්නා තනි වූ මවකි. ඇය පඳුරු අතර තැනූ බිලක පැටවුන් සඟවා තනි කර දමා දඩයමේ යන්නී ය. ඇයට වෙන විකල්ප ද නොමැත. චීටාවුන් මිහිපිට වේගවත් ම  සත්වයා වුවද දඩයම එතරම් පහසු නොවේ, එය සැම විටම සාර්ථක ද නොවේ. සිටාගේ ප්‍රියතම මාංශය තොම්සන් ගැසෙල් මුවන් සතුය. එවුන් සියල්ලන් ම පාහේ වේගවත් එමෙන්ම ජවසම්පන්න සත්තු ජාතියකි. සිටාගේ දඩ බිම ඈ දෑස මානයේ ගැසෙල් මුවන් රංචුවකි. දින ගානක් නිරාහාරව සිට පැටවුන්ට දීමට තරම් කිරි ඇය සතු නොවීය.

දඩබිම දෙස බලන සීටා
සීටාද අලුත් දඩයමට සුදානම් ය. මද වෙලාවක් තණ පඳුරු වලට ඉහළින් උන් දෙස බලා උන් ඈ තණ පඳුරු අතරින් කිසිදු හඬක් නො නගා කෙමෙන් කෙමෙන් රංචුවට කිට්ටු වෙමින් විටෙක නැවතී හිස පහත් කොට රංචුව දෙස නෙත් යොමයි. යලි පහත් වී ගමන් අරඹන ඈ ගෙල මත වූ ලෝම දැන් ඉලිප්පී ඇත. දෑස කිසිවිටකත් දයාමෙන් ඉවත් නොවේ. සීටාට ක්ෂණිකව වේගය උපදවා ගත හැකි වුවද එය දිගු කලක් රඳවා ගත නොහැක. ඒ චීටවුන්ගේ හැටිය. දඩයම සාර්ථක කර ගැනීමට නම් කෙසේ හෝ සැඟවී උපරිමයෙන් දඩයමට ලඟා විය යුතුය. සීටා දැන් ලැහැස්තිය. එක්වරම පිම්මකින් ඇරඹි දඩයම හමා යාම විටෙක ඉදිරි හා පස්සා ගාත් ලං කරමින් ද විටෙක විහිදුව මින් ද ඇය තම ගත ත්වරණය කරමින් කරමින් උන්නා ය.

දඩයම දෙස නෙත් යොමන සීටා
සීටා බෙන්ඩ් එකක් ගනිමින් :D
නමුදු ඒ කිසිදු විටක හිස හා දෑස් දඩයම කෙරෙන් ඉවතට නො ගත්තා ය. අනතුරක ඉව වැටුණු රංචුව සී සී කඩ දුවද්දී එක් ගැසෙල් මුවකු කෑස් ගා ක්ෂණික ත්වරණයක් ලැබ දිවි රැක ගැනුම උදෙසා දුව යන්නට විය. දැන් සීටා උපරිම වේගයට ලඟා වී සිටියාය. ගැසෙල් මුවාද ඒ මේ අතට පනිමින් වක්‍රාකාර දිවීමක නිරත වේ. සීටා ක්‍රමයෙන් දෙදෙනා අතර පරතරය අඩු කර ගනිමින් මුවා පසු පස එළවයි.

ඩග් ඩග්......, ඩග් ඩග්........, ඩග් ඩග්........, ඩග් ඩග්......., ඩග් ඩග්........, ඩග්........, ඩග්..........., ඩග්

ගැසෙල් මුවාගේ අවසන් මොහොතට මොහොතකට පෙර
ගැසෙල් මුවාගේ හදවත වේගයෙන් ගැසී අවසාන නතර විය. සිටා සාර්ථකත්වය අත් වින්දාය. ඇගේ පැටවුන් අද කුසගින්නේ සිටින එකක් නොමැත. ගැසෙල් මුවන්ද තම මියගිය සගයාගේ මාංශය බුක්ති විඳින්නට සැරසෙන සීටා හා මියගිය සගයාගේ සිරුර දෙස බලා තම කෙටි වල්ගා වනමින් අවසන් ගෞරවය මල සගයාට පුද කළහ.

සගයාට අවසන් ගෞරව පුදන ගැසෙල් මුවන්
(සීටා හා පැටවුන්ගේ සංක්‍රමණයන් හා වික්‍රමයන්, ලයිලාගේ දඩයම් හා මාරගේ හතුරන් ගැන ඊළඟ කොටසට.......)

ප.ලි.
මෙය මා නැරඹු වයිල්ඩ් ලයිෆ් චිත්තර පටයක කතාවක් වන අතර ගොඩක් අය මෙය නරඹා ඇතුවාට සැක නොමැත, වනගත ජීවිත ගැන ලියවෙන පළමු අවස්තාව හා එවන් අත්දැකීම් නොමැති නිසා චිත්තර පටයක කතාවක් වුවද එය ලියපු අයුරු පට්ටම සාටර් විය හැකි අතර මේ මට දැනුනු ඒ චිත්තර පටය ඔබත් එක්ක බෙදා ගැනීමට ගත්තු පුංචි උත්සාහයකි. චිත්තර පටය ගැන විස්තර අවසාන කොටසින් කියන්නම් :D.

ප.ප.ලි
මනොෂ් කොලුවෝ, ඔන්න මම වෙච්ච පොරොන්දුව ඉස්ට කොරා හරිය. මතකනේ GB :D, එහෙමනේ ප්‍රියා අයියා. බලපු කතාව ඔන්න ලීවා.

Thursday, October 16, 2014

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

සියලු සත්වයින් අනන්ත වූ සසර පුරාවට විඳින්නා වූ දුකින් එතෙර කිරීමේ උතුම් අරමුණින් අතර පෙර නිමිති දැක ලෝකයේ යතා ස්වාභාවය දන හැඳින ගිහිගෙය හැර යාමට සිදුහත් කුමරුන් ගත තීරණය ට එක වරම යලි විමසා බලනන්නට තරම් වූ සිදුවීමක් සිදු වූ බව අපි සැවොම දනිමු.

"රාහුලෝ ජාතෝ බන්ධන ඡාතං"

කුඩා රාහුල කුමරු උපන් ඒ දිනයේ දාරප්‍රේමය හා යශෝදරාවන්ගේ ප්‍රේමයට වඩා සසර දුක බලවත් වූ හෙයින්ම නිදි පැදුරටද නොකියා ගිය සිද්ධාර්ථයන් කෙරේ තමා හා උපන් බිලිඳු ද හැරදා ගිය බව දැන ගත් විට හා ඉන් පසු කුළුඳුල් පුතෙකු සමඟ යශෝදරාව කුමන නම් හැඟීමක් සිත තුල තිබෙන්න ඇතිද, කෙලෙස ඇය තම දුක දරා ගන්නට ඇතිද, නිතර දෙවේලේ තම හිමියන්ගේ රුව නෙත ගැටී ඇයට ඒ මාලිගය තුල දකින හිස් දසුන මග හැරුණු පසු කෙලෙස නම් වීද, යන්න විවිධ මානයන් ඔස්සේ කවීන් කරන ලද ගවේෂණයන් හමුවේ යශෝදරාවන් ගේ සිතෙහි විවිද පැතිකඩයන් කවියන් විසින් ඔවුන් දුටු අයුරින් කවි රස විඳින්නන් වෙත ගෙනහැර ඇත.

බෞද්ධ සාහිත්‍යය ඇසුරින් යශෝදරාව කෙරෙහි ගොඩ නැගී තිබුණු පහන් සංවේගය ඒ කවි වලට තවත් බලපෑමක් එකතු කර ඇතුවාට කිසිදු සැකයක් නොමැත.

කවිය ගැන බැලීමේදී කවිය හා එය හරහා ගොඩ නැගෙන හැඟීම ගැන විමිය යුතු වේ. කවියක් රචනයට කවියාට හැමවිටම සිදුවීමක් හෝ හැඟීමක් පාදක වේ. කවියා කවිය හරහා ගොඩනගන්නට වෙහෙසෙන්නේ ඔහු විඳි හැඟීම කියවන්න තුලද ඇති කරවීමටය. ඒ හරහා කියවන්න තුල කම්පනයක් ඇති කිරීම බොහෝ කවීන්ගේ අරමුණයි. කවියකු කියවන්නාගේ හැඟීම් අවුළුවා ලීම සුදුසු නොවේ. උසස් කවියා සහ කවිය කියවන්නාගේ හැඟීම් පුබුදුවා එය උසස් චින්තනයකට, උසස් තලයකට, උස්සි රස වින්දනයකට ගෙන ඒමට වෑයම් අවුළුවා ලූ හැඟීම් වල දිශානතියන් හරහා උසස් අදහස් කියවන්නා තුල ඇති කෙරෙන අතර ඒ හරහා යහපත් සංවාදයක් ගොඩ නැගේ. එමගින් කවියා තම කවියේ අරමුණු වලට ලඟා වේ. කවිය හරහා උලුප්පා දක්වන රසය කියවන්නා වැළඳ ගන්නේ යම්සේද කවියා ඒ සඳහා එම හැඟීම්, වචන වල ගක්තීන්, තම අත්දැකීම් හා අවශේෂ දෑ කලාත්මක ලෙස සම්බන්ද කරනු ලැබේ.

යලිත් යශෝදරාවන් දෙසට හැරුණු විට එක කවියකු තම හැඟීම් කවියට නගා ඇත්තේ මෙලෙසිනි.

පෙර මින් කඳුළු කිරි දරුවෙකු අතේ        දරා
පෙර ලා නොගොස් පෙම්බර මව් පියන්  කරා
 දර දඬු  ගැහැණු   අතපය   හාමතේ         දරා
නර  කාදියකි හිමියනි අද යසෝ             දරා

කුම රකු සමග තෙමි තෙමි කඳුලැලි     වැස්සේ
බිම  පෙරළෙමින් ඉකි බිඳ ඇඬුවට        පස්සේ
මම  හිමි සඳුනි ගිය අවුරුදු හය             තිස්සේ
මෙම  පඩි පෙලෙන් නැහැ පහලට        බැස්සේ

දඟ  ගෙයි විඳින දුක රජ මැදුරෙහි       වින්දේ
ඉඟ  ටම මෙතෙක් මා දළ රෙදිමය     ඇන්දේ
ළඟ  නැති හිමිගෙ ගුණ සිහිකර අද     නින්දේ
අඟ  නක් කවුද මේ තරමට ඉකි          බින්දේ

මෙම පැදි පෙළ කියවපු විට මුලින්ම ඔබට ඇති වුයේ යශෝදරාවන් කෙරෙහි කුමන හැඟීමක්ද?

සිදුහත් කුමරුන් ගිහිගෙය හැර ගිය පසු යශෝදරාව තැවුණු අයුරු ඉස්මතු කිරීමට කවියා උත්සාහ ගෙන ඇති අයුරකි. ඒ හරහා යශෝදරාව කෙරෙහි දයානුකම්පාවක් කියවන්න තුල ගොඩ නැගීමට ඔහු සමර්ථ වී දැයි විමසා බැලිය යුතුය. එලෙස වීමට නම් ඇයගේ දුක වේදනාව ඉතා සියුම් ලෙස අපට දැනිය යුතුය. නමුත් මෙම පැදි පෙළ කියවන යද්දී හැඟෙනුයේ යශෝදරාවන් පොළොවේ පස් කාපු අයුරකි. ඇයට මාලිගය එහෙම්පිටින්ම සිරගෙයක් වී ඇති අයුරකි. පුංචි රාහුලයන්ද කිරි ඉල්ලා හඬන විට ඇයට එයද වදයක් වී ඇතුවා වැනිය. ඇයට සිදුහත් කුමරු අහිමි වීමට වඩා ඇයට ඇය ගැනම දුකක් ඇති හැටියකි.

මේ යෙදුම් දෙස මදක් බල්ලන්න. 

දර දඬු  ගැහැණු   අතපය   හාමතේ         දරා
නර  කාදියකි හිමියනි අද යසෝ             දරා

යශෝදරාව කෙතරම් සියුමැලි වන්නට ඇතිද රාජ කුමාරියකව සිටි හෙයින්, එවන් යට දරඳඩු අතපය හිමිවිය හැකිද? සක්වල සියල්ලන්ම දුක නමැති නරකාදියෙන් එතෙර කරන්නට ගිය සිද්ධාර්තයන්ට යශෝරදාව අමුතුවෙන් නරකාදියක හිටි බවක් හැඟෙවී ද, යසෝදරාව විප්පයෝග දුකින් පෙලෙන මුත් ඒ දුක නරකාදියක ගානට උපමා කල හැකිද මේ සිදුවීම් දාමයෙන් පසුව. කවියා යසොදරාවන්ගේ දුක මතු කිරීමට යොදාගත් උපමාව නිසා එම දුකට වැඩිය නරකාදී දුකක් කියවන්නා තුල ජනිත වේ.

කවි පෙලේ සමස්ථ යෙදුම් රළු හා ඕලාරික හැඟුමන් වැඩිපුර කියවන්නන් කෙරෙහි ජනිත කරන අතර ඒ සඳහා "බිම  පෙරළෙමින් ඉකි බිඳ ඇඬුවට        පස්සේ"  හා "දඟ  ගෙයි විඳින දුක රජ මැදුරෙහි       වින්දේ" වැනි යෙදුම් වලින් මතුවන අදහස් එවැනි හැඟුමන් තවත් තර කිරීමට සමත් වේ. ඒ හරහා යශෝදරාවන් කෙරෙහි දයානුකම්පාවක් මිශ්‍රිත දුකක් වීදනාවක් ය කෙරේ මතු නොවේ.

මම කාවි පෙළ හරහා මතුවන්නේ සිදුහත් කුමරුන් ගිහිගෙය හැර ගියාට පසු යශෝදරාවන් අපා දුක් විඳිමින් තැවුණු අයුරකි.

ළඟ  නැති හිමිගෙ ගුණ සිහිකර අද     නින්දේ
අඟ  නක් කවුද මේ තරමට ඉකි          බින්දේ

යන යෙදුම හරහා ඇය සිදුහත් කුමරු ගැන සිතෙමින් තැවෙන බව කියා පෑමට උත්සාහ ගත්තද එයට වඩා අර රළු යෙදුම් ප්‍රබලව මතු වේ. මේ නිසා ඇය සිදුහත් කුමරුන් කෙරෙහි සිතමින් තැවෙන ගතියක් නොහැඟී යයි. නමුත් තමාව දුකට පත් කල සිදුහත් කුමරුන් හට ආඩපාලි කියන හැටියකි.

මෙම සිදුවීමම ජන කවියකු දුටු අයුරු හා එයට අදාළ වෙන ලෙස අකුරු ඇමිණු අයුරු විමසා බලන විට කෙලෙසද යත්

සුවඳ බොජුන් වැළඳු මගේ හිමි සඳු       ට
නිබඳ  බොජුන් රස කර දුනි වළඳන්      ට
සුවඳ  පලා පල මැවියන් හිමියන්          ට
සුවඳ  මල් නිතර පිපියන් හිමියන්         ට

හිමයේ ගොසින් මල් යහනක නිදනව    ද
කොමල අනගි සිරි පා දෙක රිදෙනව      ද
හිගේ නැතිව දෙවියෝ මුර කරනව        ද
මගේ ඇත රජුනි හිමි සඳ කොතනක       ද

කැලේ තිබෙන කොයි දේවත් රස වේ      වා
මලේ බමරු මෙන් පිරිවර ඇති වේ           වා
අව්වේ තියෙන රැස් මාල අඩු වේ              වා
ගව්වෙන් ගව්ව දිව මාලිගා සෑදේ             වා

ඉහත කවි පෙළත් එක්ක සැසඳූ කල මේ කවි පන්තිය කියවූ කල ඔබට කුමන නම් හැඟීමක් යශෝදරාවන් කෙරෙහි පහලවීද? එහෙනම් අහලත් බලන්නකෝ ඒ හැඟීමම අහද්දිත් දැනෙනවද කියලා.



මේ වූ කලී යශෝදරාවතෙහි පැදි පෙළකි. මහනුවර යුගයේ ලියවුනු මෙහි කවියා අප්‍රකටය. සමුද්‍ර ඝෝෂ විරිතෙන් ලියවුනු මෙහි කවි 130 කි. යශෝදරාවන්ගේ දිවිය අලලා ලියවුනු මෙහි සරල සුගම බස් වහර නිසාම කියවන්න හෝ අසන්නාගේ හදවතට යශෝදරාවන් සමීක කරවීමට සමත් වී ඇත.

මෙම පැදි පෙළ කියවන විට කියවන්නට නිරායාසයෙන් ම යශෝදරා ව කෙරෙහි දයානුකම්පාවක් ඇතිවෙන අයුරු සැබවින්ම චමත්කාර ජනකය. මෙහි කිසිදු තැනක කඳුල දුක වේදනාවක් ගැන සඳහන් වී නොමැත, යශෝදරාව දුකෙන් තැවෙන බවක්ද සඳහන්ව නොමැත. නමුත් කියවන අපට ඇය කෙරෙහි දයානුකම්පාවක් ඇති වේ. පැදි පෙලේ සැඟවුණු යශෝදරාවගේ දුක නිතැතින්ම හදවතට දැනේ.

මෙම පැදි පෙලේ යශෝදරාව තමා වැටී සිටින දුක්ක දායක තත්වය අතිශයෝක්තියකට නගා විස්තර කරමින් සිදුහත් කුමරුන්ට අවලාද කියමින් වැළපෙනු වෙනුවට පති භක්තියෙන් යුතුව තමා හැර ගිය සිවාමියාගේ සැප දුක ගැන හිතමින් ළතැවෙයි. 

සුවඳ රස බොජුන් වැළඳු හිමියන් සත්‍ය සොයා දුක් විදිනවා නොවේද, හිමි සඳුට වළඳන්න අහරක් වත් තියෙනවාද, මා ලඟින් උන්නා නම් ආහාරයක් හෝ හදා දෙන්නට තිබුනා නොවේද, අනේ හිමියන් විදින දුක නැතිවෙන්නට සුවද මල් වත් පිපියන් හිමි සමීපයේ ඒ සුවදින් වත් මාවත් එතුමන්ට මත වීයන්.

වෙනදා විල්ලුද වන් සුව යහානාවක සැතපුන හිමියන් අද ගස් ගල් යට කෙලෙස නම් නිදනවා ඇතිද? අනේ ඔය කොමල සිරි පා දෙකට ඔය ගල් මුල් පෑගිලා හුරුවක් තියෙනවාද, ඒවා වේදනාවෙන් රිදෙනවා ඇති නේද. අනේ ලඟින් හිටියා නම් ඔය කොමල සිරිපා පිරි මදින්නට තිබුනා නොවේද, එතුමන් ඉන්න ඉසාවක් දන්නවා නම් කියන්නකෝ මටත් යන්නට එතුමන් ලඟට.

බලන්න අවසන් පාර්ථනය යශෝදරාවන්ගේ කවියා දකින විදියට. යශෝදරාව ඇයට වඩා තැවෙන්නේ තමන්ව හැර ගිය සිදුහත් කුමරු ගැන. මොනතරම් ප්‍රේමයකින්ද ය ඉන්නේ, ඉතින් මෙම පඩි කියවන විට කියවන්න තුල යශෝදරාව ගැන දුකක් කනකාටුවක් දයානුකම්පාවක් ඇති නොවන්නේ නම් කෙලෙසකද.

මෙලෙස කවිය තුලින් විමසා බැලීමේදී ආත්ම සන්යමයකින් තොරව රළු ලෙස හංගීම් ප්‍රකාශ කිරීමෙන් කවියකට වන හානියත්, දැඩි සංයමයකින් යුතුව සියුම් ලෙස හන්ගීම් ප්‍රකාශ කිරීමෙන් කවියක රසය කර වන අන්දමත් පැහැදිලිය.

මේ සියල්ල කවියන් යශෝදරාවන් ගැන දැක්ක හැටිය, යශෝදරාවන් සිදුහත් කුමරුන් තමා හැර ගොස් බුද්ධත්වය ලබා කිඹුල්වතට වැඩම කොට ගෙයින් ගේද පිඬු සිඟා වදින කල පුංචි රාහුල කුමරුවන් තුරුලට ගෙන අර ඈත වදින්නේ පුතේ උඹේ පියාය, උඹේ පියා මේ මේ ගුණ වලින් යුතුය කියන ලද නරසීහ ගාථා සැබවින්ම සිත පහන් කරවන සුළුය. ඒවායේ සිහල තේරුම ගත විට මෙලෙසින් දැක්විය හැකිය.

සත් රුවණින් ඵල රත් සුපතුල් වත්
දික් විලුඹින් හොබනා ලකුණින් සන්
වල් විදු නා කුඩ රූ රැඳි පා යුත් 
ඒ ඔබ වේ යැ පියා නර සී වූ

සෑ කුමරා වර බෝ මැ මොලොක් වූ
පින් ලකුණින් සැදි පුන් සිරිරින් යුත්
වූ නර වීර ඉතින් ගිය ලෝ වෙත්
ඒ ඔබ වේ යැ නර සී වූ

පුන් සඳ වන් පැහැපත් මුව දිස්නා
දෙවි මිනිසුන්  පිය වූ නර මානා
මත් ගිජිඳුන් නෙ විලස් ගමනෙන් පෑ
ඒ ඔබ වේ යැ නර සී වූ

කැත්වැ උපන් අග පත් කුලවත් වූ
දෙව් මිනිසුන් නැමැදුම් කළ පා යුත්
සිල් එකඟින් පිහිටා ඇති සිත් වත්
ඒ ඔබ වේ යැ නර සී වූ

දික් තුඩු වූ නැහැයෙන් යුතු සූ සන්
වස්සකු ඇස් ගුලි වන් ඉඳුනිල් නෙත්
දෙව් දුනු සේමැ සුනිල් බැම දිස්නා
ඒ ඔබ වේ යැ නර සී වූ

වූ වටහා සුමටත් කෙලසූ සන්
සී හනු වූ මිඟිදුන් කය වන් ගත්
වන් වැ කසුන් සිරි පෑය උතුම් වූ
ඒ ඔබ වේ යැ නර සී වූ

වූ සිනිදුත් ගැඹුරුත් බඹ ගොස් යුත්
දෑ හිඟුලේ වැනි පෑය සුරත් තිවු
විස්සෙකැ විස්සෙකැ සේ සම දත් යුත්
ඒ ඔබ වේ යැ නර සී වූ

වන් රසඳුන් ඉඳු නිල් හිස කෙස් යුත්
රන් පට වන් සුනිමල් නලලින් ඳුල්
සේ දවහත් තරු සේ උනු ලොම් දා
ඒ ඔබ වේ යැ නර සී වූ

මේ සිංහල තේරුම් මම උපුටා ගත්තේ ටී.බී හේරත් ගේ බ්ලොග් සටහන් වලින් 

මේ අපුරු නරසීහ ගාථා බංගලාදේශ ගැහැණු ළමයෙකු කියන අයුරු ඉතාමත් අපුරුය. එය සිත පහන් කරවන සුළුය. එහි විශේෂත්වයම වන්නේ ඇය බන්ගලාදේශ වීම හා ඇගේ සුමියුරු කටහඬ නිසාමය. මෙන්න ඇය කියන අයුරු යූ බටයේ තිබුණු හැටි. එහෙනම් අසා බලා දැනෙන හැඟීම ඔබත් විඳ ගන්න.



මේ ලිපිය ලියන්න අපේ සින්දු ඇනෝ මිත්‍රයා දක්වපු උදව්ව අමතක කරන්නම බැහැ, යශෝදරාවත හොයලා දීල ඊයකුත් විදලා දක්වපු සහයෝගයට ගොඩක් ස්තුතියි මිත්‍රයා.

Wednesday, October 8, 2014

කරත්ත කවි කියමුද?


අව්ව සැරයි ගමන දුරයි 
හනික යමං මගෙ සුද්දෝ 
උඹත් ඉතිං එකතු වෙයන් 
පමා නොවී මගෙ රත්තෝ 

කුර ගෙවිලා පය දනවා 
නොදන්නවා නෙවේ ඉතිං 
ඊට වඩා හිත දනවා 
ඉකිබිදින්න බැරිලු ඉතිං 

කොච්චර දුර ඇවිද ගියත් 
තවමත් අපි එක තැනමලු 
එතනින් තව කොහෙවත් 
යන්න නැතිලු යන්න බැරිලු 

කරත්ත කවි නොකීවාට 
දහසක් කවි හිතේ තියෙයි 
ඒ කවි වල දුක අහන්ට 
අපේ සවන් අපට තියෙයි 

හනික යමන් පමා නොවී 
පමා වුනොත් පාඩු ගොඩයි 
එහෙම උනොත් මගෙ දෑතට 
ලැබෙන කාසි පනං අඩුයි

Thursday, October 2, 2014

වේසී සහ වේස බල්ලා (රත්නපුර ස්පෙෂල්)



සුලන් කැළඹිලි මහ පොලවට හුරුය
හෙනද සමගින් මහ වැසි ඇද වැටේය
බොර දිය ඒ කවදත් බොරම පාටය
පහත් තැන් තලා පොඩිකර ගලාය

තලන්නට පෙර යකඩය රත් කෙරේය
තලනා කලට කිනිහිරටද එය දැනේය
තල තලා හොඳ හැටි තැලේදැයි බැළේය
තැලෙනා යකඩෙට මිටියෙත් පහර වැදේය

තොවිල් නටන්නේ දැන් දැන් මහ පාරේ මැදය
කට්ටඩි අඳින්නේ ඇඳුම් කාකි රෙද්දෙන් මැසූය
යක්කු හිඳින්නේ තාමත් උන් හිටි තැන් පලේය
ආතුරයින් ගුටිකන්නේ යාකා පැටලිලා වගේය

බඩගින්නට ඇඟේ මාළු විකුණන එකීට කියන්නේ වේසි
වේසිගෙ පහස විඳි උන් කියයි හරියට එය වගේලුනේ ඒසී
ඒසී කාර් වලින් ඇය දාගෙන යද්දී නම් අපේ මේ වීර පීසී
පීසී පවර් බැහැලා බලු වෙනවානේ පතමින් ලොකු වාසී

දුක වේදනාව රිදුම හා කඳුල යන මේ මිනිස් හැඟුමන්
කැමරා පෝන් කාච ඉදිරෙයේ වෙනනේ රුප සටහන්
ඉදිරියේ හුන් එකා මලත් වටේ උන්ටික හරිම සතුටින්
මක් කරන්නද කියනු මිස මටනම් උනව තූ නොදකින්

තැලෙනා යකඩ කවදා හෝ මුවහත් නොවෙද
මුවහත් යකඩ ගෑවුනත් කැපෙනවා නොවෙද
වේසිය උනත් ඒ තවත් ගැහැනියක් නොවෙද
වේසිට තැලූ එකා වේස බල්ලෙකු නොවෙද

ප.ලි.

බස්සි අක්කගේ මුතු ඇටේ දැන් කාකි පාටය ලිපිය කියවා එහි පලකල කමෙන්ටුවක් මෙසේ පලකලෙමි.
Related Posts Plugin for WordPress, Blogger...