Thursday, September 18, 2014

ගිරය (කෙටි කතාව)


කමලා බිනූ වදන් හමුවේ තමා මුව ගොළු වූවෙකු ලෙස කර බාගෙන හිටි අයුරු මතක් වන මොහොතක් පාසා  ඒ වදන් වල වූ ශොකී රාවය සිරිසේනගේ දෙසවන් තුල නින්නාද දෙන්නට විය, හදවතේ ගැඹුරුම තැනෙක තැන්පත් වී ඇති එම වදන් නෙත් කෙවෙති අගින් පිට වීමට වෑයම් කරන සෙයකි. හුස්ම හිරවෙන්නාක් සේ දැනෙන්නට වූයෙන් යන්තම් ඉහලට ඇදගත් හුස්ම “හ්ම්ම්” යන හඬත් සමග එලියට පිට කල ඔහු කවුළුව ඉදිරියෙන් ඇදී යන අවට දෙස බලා හිඳින්නට විය. ගමන් කරන බසයයේ  කවුළුව නොයෙකුත් සිතුවම් චිත්‍රණය කරයි. බසයේ කවුලුවත් රූප පෙට්ටියක්ම නොවේදැයි සිරිසේනට සිතුනි. බස් රිය ඉදිරියට ම ඇදී යන අතර නොයෙකුත් නැවතුම් වල විටෙක නවතමින් ද, විටෙක වේගයෙන් ද, තවත් විටෙක හෙමින්ද යයි, ඒ අතර මිනිසුන් ඊට ගොඩවෙනි, තවත් සමහරෙක් ඉන් බසිති, එ නමුදු සදා කල් රැඳෙන්නෙක් බසයේ නොමැත.
තමා කමලාත් සමග සතුටින් හා සමාදානයෙන් මෙතුවක් කල් ජීවත් වූ අයුරු සිරිසේනට දැනෙන්නට විය. විශ්වවිද්‍යාලයේ දී දැන හැඳින තමා කමලා හා ආලයෙන් වෙලුනු අයුරුත්, විවා පත් වී ආදරයේ රස තැන සොයා ගිය අයුරුත් ඔහුට මතක් වන්නට විය. කල් යත්ම ඔවුන්ගේ ආදරයේ උතතරීතර දායාදයන් සපූද, එමෙන්ම හිරූද ඔවුන්ගේ කැදැල්ලට එකතු වුන දා සිට නිවසෙන් වාන් දමමින් තිබූ සෙනෙහස දැන් පිටවානෙන් කොහේදෝ ඈතට පැන ගිය අයුරකි. කමලාගේ ආදරය කෙමෙන් කෙමෙන් තමාගෙන් හීන වෙවී යන හැටියකි.  නමුත් දැන් සියල්ල උඩු යටිකුරු වී හමාරය. සියල්ලට හේතුව නිමලාගේ ආගමනය නොවේ දැයි සිරිසේනට හැඟෙන්නට විය.
 “නිමලා වීරිය තියෙන එකී” සිරිසේනගේ තොල් පෙති ආයාසයෙන් විවර වවන්නටත් එයින් යළිත් හදවතේ ගැඹුරු ම තැනකින් පැන ආ සුසුමක් පිටවිය.
“මහත්තයා බහින්නේ නැද්ද? ටවුමටත් ආවා” කොන්දොස්තර කොලුවා සිරිසේනගේ සිහින ලෝකය බිඳින්නට සමත් විය.
“ආ හරි හරි, මට මට පොඩ්ඩක් මේ නින්ද ගියා” යයි පිළිවදන් දුන් සිරිසේන බසයෙන් බැස තම ගමනාන්තයට මහමෙර ඉසිලුවෙකු එබර කර මතින් ගෙන ඇදෙන පරිද්දෙන් ගාටන්නට විය.
............................................................................................................................................................
“වෙලාවට බත් කට කන්ටනම් එනවා, ගෑනියෙක් හැටියට මන් කරන සුමේ මේ මිනිහට පෙන්නේ නැති ගානයිනේ අක්කා”
“එක අතකට ඕවා ඔයාගෙත් වැරදි නිමලා, ඔයා ඔය මිනිහව නලවනවා වැඩි මට නම් හිතෙන්නේ”
“කාපු පිඟානවත් හොදන්නති කොට ඒ වගක් මොනවටද අක්කා”
“ඇත්තෙයි උඹ ඔය කියන්නේ නංගි?”
“සත්තයි අක්කා, මට වෙලාවකට හිස හැරුණු අතේ යන්න හිතෙනවා, එත් අම්මව දාල කොයි යන්නද? හ්ම්ම් මොනවා උනත් ඒ මගේ කසාද මිනිහානේ”
............................................................................................................................................................
“මටනං නිමලා පවු කියලත් හිතෙනවා සිරි, ඒ මිනිහා කාපු පිඟානවත් හොදන් නැතිලු”
“බේබද්දෙක්නේ”
 “හ්ම්ම්, අම්මලා ආපු වෙලාවෙත් දුව ගෙන ඇවිත් සේරම බඩ බැඳන් කරලා වලං හිටන් හෝදලා දීලනෙ ගියේ, මම සල්ලි කීයක් හරි මිට මෙලෙව්වම එපාම කිව්වනේ, හාල් තුනපහ ටිකක් දුන්නම අනේ ඕනාත් නෑ අක්කේ කියලා එත් පින් දීල ගන්නවා”
“ඒකි හිත හොඳ එකී, අර කාලකන්නියා නිසානේ ඔහොම වෙලා තියෙන්නේ”
“ඔයාට බැරිද ඔය ඔපිස් එකේ තේ හදන වැඩක් වත් මොකක් හරි හොයලා දෙන්න”
“නෑ නෑ ඕනා නෑ ඕවා මහා අහක යන කරදර වැටෙන වැඩ, අපි අපේ වැඩක් බලා ගෙන ඔය පුළුවන් විදියකට උදව්වක් කර ගෙන ඉමු, ඔය ලාම්පුව නිවල එන්න නිදා ගන්න”
නිමලා සිරිසේනලාගේ නිවසට යා ව ඇගේ රෝගී මවගේ කල මනා කරමින් සහ බේබදු සැමියෙකුගේ පති දම් රකිමින් දුකසේ දිවි ගෙවන්නියක විය. කවර හෝ කාලයක දැමු බවුන්ඩේසම මත ඉටි කොළ හා ලෑලි කෑලි වලින් වට වූ කොටුවක උන් සියල්ල වාසය කරයි, හිසට ඉහළින් සුළඟට ඒ මේ ඇත වැනෙන තහඩු කොළ කිහිපයක් එහි ඇත. ඇය කෙසේ හෝ කුලියක් කර පවුල් ජීවිකාව ඇද ගෙන යන අතර අගේ බේබදු සැමියා ඇයයගෙන් යැපෙමින් ඇය පීඩාවට පත් කරයි. ඇගේද සැනසීම වූයේ ඉස්පාසුවක් ලද මොහොතක සපූ හා හිරූ සමග කාලය ගෙවීමයි.
............................................................................................................................................................
“මහන්සියි අප්පා හරියට” කියමින් සිරිසේන හැන්දෑ යාමයේ බැස යන හිරු රැස් අතරින් නිවසට ගොඩ වැදිණි. පරිසරයට වඩා ඔහුගේ මුහුණ මලානික ය. වෙනදා තාත්ති මොනවාද අපට ගෙනාවේ අසමින් තමා අසලට දුවගෙන එන හිරූත් සපූත් පෙනෙන්ට නොමැත.
“කෝ දූලා?”
“මේ හරි වැඩේනේ, දෙන්න නිමලාත් එක්කමයි, නිමලාත් පණ ඇරලා දෙන්නට, ඔන්න දෙන්නා ඉදි ආප්ප මිරිකනවා, කන්න පුළුවන් වෙයිද මන්දා”
“දෙන්න මොනවා කරගත්තද දන් නෑ”
“තාත්තී........, අක්කියි මායි ඉදි අප්පා හැදුවා නිමලා නැන්දිත් එක්ක, තාත්තී එන්ටකෝ කන්ට, රසායි.”
“තාත්තිට කරදර නොකර ඉන්නකෝ දූ, තාත්තී ඇඟ සෝදාගෙන එයිනේ”
“කෝ දූ හදාපුවා කන්න තාත්ති ඇඟ සෝදාගෙන එන්නම්කෝ”
ඇදුම් ලිහා දමා සරමකට ගුලි වී තුවායක් රැගෙන ලිඳ ලඟට ගිය සිරිසේන ලිඳෙන් ඇදගත් වතුර පනිට්ටුව ඇඟට හලාගත්තාය, සීතල වතුර ඔහු ගත කිලි පොලා යවන්නට සමත් විය.
“හූ මෙන්න තාත්ති වෙව්ලනෝ, හූ හූ සීතලායිද තාත්ති”
“අහකට යන්න දූ තෙමෙන් නැතිව... අම්මිගෙන් සබන් කෑල්ලක් ඉල්ලන් එන්නකෝ”
“සබන් ඉවරයි සිරි, දූලා නාවද්දීත් තිබුනේ පොත්ත, ඕන් දෙන්නවම අද නෑව්වේ නිමලා”
“සබනුත් ඉවරද?”
“හ්ම්ම්”
............................................................................................................................................................
“අක්කේ, අක්කේ......”
“ඇයි නිමලා මොකුත් හදිස්සියක්වත්ද?
“අනේ නෑ අක්කේ, මම මේ රට රස්සාවකට යන්න කියලා, හැමදාමත් මෙහෙම ඉඳලා හරියන නැහැනේ.”
“උඹට ඕවයේ ගොහින් පුරුදුය?”
“මොනවා කරන්නාද අක්කේ, ටවුමේ ඒජන්සියේ රෙජිස්ටර් උනා අක්කේ, පාස් පොත නම් එයාල හදලා දෙනවයි කියලා පින්තූරත් ගත්තා.”
“උඹලා ඔබයේ ගිහින් කවුද අම්මව බලා ගන්නේ”
“එක තමයි අක්කේ මටත් තියෙන දුක, එත් ඉතින් මොනවා කරන්නද අක්කේ”
“උඹට ඕවයේ යන්න සල්ලි තියෙනවද නංගියේ?”
“එකවර ගෙවන්න තියෙන ගානට තමා හිඟ පාඩු තියෙන්නේ, එහෙ ගිහිල්ලත් ගෙවන්න ඇහැකිලුනේ”
“මම අයියා ආවම කියලා බලන්නම්කෝ, අනේ මන්දා කෙල්ලෝ දෙන්නට තමයි පාඩුව”
“කොයි අක්කේ දූලා දෙන්නා?”
“ඔන්න වදෙන් පොරෙන් කවලා දැන් නිදි, ඔයැයිටම හුරු වෙලා බත් කන්නත් ඔයයි ඕනෙලු”
“දුලා දෙන්න දාල යන්න මටත් දුකයි අක්කේ, එත් මං නොයා කොහොමද?”
............................................................................................................................................................
“සිරි, ඔයා ඊයේ රෑ නිදා ගත්තේ නෑ නේද?”
“හ්ම්ම් ඔව් පොඩි හිසරදයක් ඇල්ලුවා”
“ඉන්න මම තේ හදා ගෙන එන්නං”
සිරිසේන පෙර දා රාත්‍රිය ගත කලේ නින්දත් නො නින්දත් අතරය, ඇඳ විට්ටමට හේත්තු කර ගත් කොට්ටයට පිට දී මුළු රෑ ම ඔහු කල්පනා ලොවක තනි වී සිටියේ ය. කමලා දරුවන් තුරුලු කර ගෙන නින්දෙහි ය. නින්ද ඔහු අසල කවත් නොමැත.  නිමලා රට රැකියාවකට යන්නට සූදානම් වන බව කමලා පැවසීමත් සමග හිතේ තෙරපෙන පීඩාවකින් ඔහු පෙළන්නට විය. ඉඳ හිට කමලාට හොරා නිමලාගේ අතින් අල්ලා විහිළුවක් කිරීමටත් ඇති විටක කීයක් හෝ ඇය අත ගුලි කර “අක්කට ඕවා කියන්න යන්න ඕනෙ නෑ” යනුවෙන් පැවසීමටත් සිරිසේන පුරුදු ව සිටියේ ය. නිමලා ද ඒ කිසිවකට අකමැත්තක් පෙන් වූයේ නැත. කොළ සිනාවෙන් ඇය තව තවත් සිරිසේනව උද්දීපනය කලාය.
............................................................................................................................................................
“සිරිසේන මහත්තයා..., වැඩ ඇරිලා ගෙදර යනවා වෙන්නැති”
“ඔව් මුදලාලි, අද ටිකක් වේලපහින් ආව”
“ගණන් පොතෙත් ගනු දෙනු වගයකුත් තියෙනවා සිරිසේන මහත්තයෝ”
“හරි මුදලාලි මේ මාසේ පඩි ගත්තම ඒ ඔක්කොම බේරන්නම්කො, එහෙනම් මන් එන්නම්”
“හොඳා හොඳා”
නිවසට හැරෙන පාරේ පිහිටි සිල්ලර කඩයෙන් ඇතැම් විට ණයට ගනුදෙනුවක් කර ගැනීමට කමලා පුරුදු ව සිටියා ය. කඩය තුල වූ මේසය මත ලොසින්ජර හා නාන ප්‍රකාර රස කැවිලි දැමු බෝතල කිහිපයක් එකිනෙක පරයා දිලෙමින් තම ආනුභාව පෙන්වයි. ඒවාට පිටුපසින් ලාච්චුව දිගහැරගත් මුදලාලි පුටුවට බරදී උපැස් යුවලින් නෙත් වසා ගෙන ණය පොත කියවයි.
“නිමලා.........නිමලා...........”
“ආ මේ සිරි අයියානේ, එන්න ඇතුලට”
“කාරී නෑ කාරී නෑ උඹලා රට රස්සාවකට යන්නලු නේද?”
 “නොගිහින් කොහොමද අයියා, හැමදාමත් මේ දුක විදින්න බැහැනේ?”
“කෝ දාස? මොකද මිනිහා පෙන්න නැත්තේ”
“ඔන්න අම්පාරේ මොකක්ද වැඩකට ගිහිල්ලා අයියේ, එහෙත් බීගෙන නටනවා ඇති”
“උඹලා ගියාම අපිට තමයි පාඩු”
“නිකන් ඉන්න අයියා විහිළු නොකර”
“විහිළු නෙවේ බන්”
“ඉන්න මන් තේ කහට ටිකක් හදාගෙන එන්න”
“ඕනා නෑ ඕනා නෑ දැන් ඔහොමම ගෙදර යන එකනේ, ආ මේක තියා ගනින්, අක්කට ඕවා කියන්න යන්න ඕනා නෑ, උඹ පස්සේ වෙලාවක හිමීට බේරපන්”
“පින් සිද්ද වෙනවා අයියේ”
“උඹලගේ පිනෙන් වැඩක් නෑ බන්, උඹලා ඉතින් අපිව දාල යනවනේ”
“මම අයියලාව අමතක කරන්නේ නෑ”
“මම යනවා බන්”
............................................................................................................................................................
“තාත්තී, මොනවාද අපට ගෙනාවේ?” හිරූ පෙර ගමන් එයි.
“නංගී, බලන්නෝ..... තාත්ති හන්ගාගෙන ඇත්තේ, හොයාගන්නෝ.....” සපූ හිරූට උපදෙස් දෙයි.
සිරී දැන්ද ආවේ, මොකද අද කලින්?” කමලාද විමසයි.
“කෝ තාත්ති ගෙනාපුවා”
“තාත්තිට මතක නැති උනානේ දූ, තාත්ති හෙට අර රතු පාට රහ ඒවායින් ගෙන්නම්කො, කෝ තාත්තිට සමාව දෙනවද?”
“තාත්ති හරි නරකයි, අපි තරහම තරහයි, ඔන්න හෙට නම් මතක ඇතිව ගෙන්න ඕනා” සපූ පැවසීය. හිරූගේ මුහුණ මැලවී ගොසිනි. ඇය දැන් මව තුරුලේය.
“මොකද සිරි උනේ, ඇයි කලින්?”
“හිස රදේ වගේ කමලා, ටිකක් කලින් ආව”
“හ්ම්ම්, මේ දවස් දෙක තුනට ඔයා හරියට වෙනස් වෙලා, මුණත් මැලවිලා, මොකද ඔපිස් එකේ ප්‍රශ්නයක්වත්ද?”
නෑ කමලා එහෙම මුකුත් නෑ, මේ දවස් ටිකේ මහන්සි උන නිසා වෙන්නැති”
කෙමෙන් හිරු බස ගොස් රාත්‍රිය උදා වෙයි, චිමිනි ලාම්පුවෙන් ආලෝකමත් වූ සාලය තුල දැරියන් හෙවණැලි රටා මවයි. සිරිසේන ඔහුගේ මනෝ ලෝකයේ ය.
“ඔන්න නංගී මේන් සමනළයා”
“ශා කෝ අර හාවා”
“ලොකූ ලාම්පුව ගාවින් අයින් වෙන්න, අනේ සිරි මේ ළමයි දෙන්න දිහා පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්නකෝ, මට කුස්සියේ ඉඳන් පුළුවන් ද, මොකද ඔයාට වෙලා තියෙන්න?”
“පොඩි යන්න තාත්තා ගාවට, ලොකූ හ්ම්ම් හ්ම්ම්”
“තාත්තී කෝ කතාවක් කියන්නකෝ”
“තාත්ති දන්නවද නිමලා නැන්දි රට යනවලු, සෝයි නේද? අපට සෙල්ලම්බඩු ගොඩාරියක් ගේනවලු”
“ඇත්තද දූ?”
“ඕ......අක්කි අපිත් නැන්දිත් එක්ක යන් නේද”
“එතකොට තාත්ති”
“තාත්තිත් එක්කං යන්”
“නැන්දිට දූලා අමතක වෙයි එහෙදි” දූලා කෙසේ වෙතත් ඔහුව අමතක වී යයි අනියත බියකින් ඔහු පෙළෙන්නට විය.
“නෑ නන්දි හොඳායි”
“පව් අසරණි, නැති නාස්ති වෙලා යයි” සිරිසේනගේ මුවින් නො කියවුනත් සිත එසේ කීවේ ය.
නිමලා රට රස්සාවකට ගියා ය, හැඬුම් වැලපුම් මැද සියල්ලට ම සමු දී නිමලා සැමගෙන් වෙන් වී කතර හුදකලා වූවා ය. “අනේ අක්කේ අම්මව පොඩ්ඩක් බලා ගන්න, මන් හැකි විදියට ලියුම් කඩදහියක්වත් එවන්නම්” ඇයගේ අවසන් ඉල්ලීම විය. සියල්ලට ම වඩා හුදකලා වූයේ සිරිසේන ය. ඒකාකාරී ජීවන රටාව පුනරාවර්තනය කරමින් සිරිසේන කාලය ගෙවා දමන්නට හුරු විය.
............................................................................................................................................................
කාලය ගෙවී යත් ම සිරිසේනලාගේ නිවසට යාව තිබූ බවුන්ඩේසම වටකොට සිටි ඉටි කොළ හා ලෑලි වෙනුවට සිමෙන්ති ගල් බැදෙන්නට විය. නිමලා එවන ලද මුදලින් නිමලාගේ මවද සුව පත් වී ඇති සෙයකි. ඇය යුහුසුලු ව නිවසේ වැඩ කටයුතු සොයා බලමින් කාලය ගෙවයි.
“තාත්තී, අල්ලපුගෙදර ආච්චි දැන් සුවඳ සබන් ගාලා නානවා, අප්පා ඒවායේ සුවඳ”
“ඇයි දූලා ගාන සබන් සුවඳ නැද්ද?”
“සුවඳයි, එත් ආච්චිගේ සබන් සුවඳායි නේද නංගී, එයාලා දැන් ලයිටුත් ගන්න වලු, සෝයි නේ තාත්ති”
“අක්කි අපිත් එහෙ යන් නේද?”
ළදැරියන්ගේ වදන් සිරිසේනට බරය, පපුවට යවුලින් අනිනා සේය.
“සිරි, දරුවොත් එක්ක හැමදාම කරුවලේ ඉන්න බෑනේ, අපිත් ලයිට් ගමුද?”
“බලමු”
“දහමාසේ ලෝන් එක වත් ගත්තොත් එකෙන් ලයිට් ගන්න පුළුවන් වෙයි නේද?”
“අපි බලමු කමලා”
කමලාගේ බලවත් වෑයම මත සිරිසේන නිවසට විදුලිය ලබා ගත්තේ ය. හිරූටත් සපූටත් සතුට නිම් හිම් නොවීය. ළදැරියන් දෙදෙනා සාලය මද දැල්වෙන කහ පාට විදුලි බුබුලේ ආලෝකය ආගන්තුක විය. ඔවුන් දෙදෙනා සාලය තුල ගී කියමින් නටන්නට විය. ඒ දෙස බලාහුන් කමලාගේ මුහුණ බැබළෙන්නටත් සිරිසේන තමාගේ මනෝ ලෝකයේ රජ වන්නටත් විය. නමුත් නිවස තාමත් අන්ධකාරයේ ඇති සෙයකි. බාගෙට සාදන ලද නිමලාගේ නිවස තුලින් ද විදුලි බුබුළු දැල්වේ. එය පහන් කූඩුවක අසිරිය විදහා පායි.
............................................................................................................................................................
පුරා වසර හතරකට පසු එක් දිනක නිමලා යලි පැමිණ සිටියා ය. සිරිසේන ද පුරුදු පරිදි වැඩ නිම වී නිවස දෙසට පැමිණෙමින් සිටියේ ය. නිමලාගේ නිවස ඉදිරිපිට තොල් රතු කර අව් කන්නාඩියක් පැළඳ සිටි තරුණියකි. කොණ්ඩය අලුත් ආරකට මුදුන් කොට බැඳ පැත්තකින් කඩා දමා ඇත. හඬ සිටි රතු පැහැති දිග ගවුම යටින් තරමක් දිගට පලා ඇත. කිරිගරුඬ වන් දෙපා දෙකක් ඉන් යන්තම් නිරාවරණය වෙයි. ඈ දුටු මතින් ම සිරිසේනට ටවුමේ හවසට සිටින කෙල්ලන් මතක් විය. සිරිසේනගේ දෙපා ඒ දෙසට ගාටන්නට විය.
“මේ සිරි අයියා නේද? තාමත් ඒ වගේ මයි, අඳුනන්න පුළුවන් ද ?”
“මේ නිමලා නේද?”
“හම්මේ එහෙනම් අපිව මතකයි, යන ඇතුලට මොනවා හරි බීල යන්න”
කිසිත් අදහා ගත නො හැකි වූ සිරිසේන නිමලා දෙස ඇසි පිය නොහෙලා බලා සිටින්නට විය. කාර්යාලය ඉදිරිපිට වූ මැනවින් පිරියම් කරන ලද ගරාවැටී තිබූ පිළිමය සිරිසේනට මතක් විය.
නිමලා තමා ව නිවස තුලට කැඳවූයෙ මන්ද? ආ විසින් රැගෙන එන ලද බඩු මූට්ටු පෙන්වීමට ද? බොහෝ කලකින් දුටු නිසා ඈ කතා නො කලා විය හැකි ද? ඈ තමා හා කතා කල එක කොතරම් හොඳද? ආ තමා හා කතා නො කලා නම් ඇය අහංකාර වී ඇතැයි තමාට නොසිතේවි ද? තමා එහි ගොඩ වූ පසු මහත් අපහසුතාවට  පත්  වූවා නොවේ ද? අගේ බදු බාහිරාදිය දැකීමෙන් තමා තුල ඇති වුයේ කුමන හැඟීම් ද? සියල්ලට වඩා දිනෙන් දින වැහැරී යන කමලා හා බැලුව කල නිමලා කෙතරම් රූමත් නොවේ ද? දහසකුත් එකක් සිත තුල උපදින ප්‍රශ්න නිදියහනේ සිරිසේන ව පෙළන්නට වූයෙන් නින්ද නම් අසලක වත් නොවීය.
“සිරී, මොකද අදත් නින්ද යන්නේ නැද්ද?” කමලාටද නින්දක් නොමැති සේය.
“හ්ම්ම්” ඈ දෙස නොබලාම සිරිසේන කෙඳිරීය.
“නිමලාට දැන් සරුයි නේද සිරි, අද වෑන් එකක් පුරවලා මොන මොනවදෝ පෙට්ටි ගොඩාක් ගෙනාවා”
“ඇත්ත ද?” කමලා දෙස බැලූ සිරිසේන ඇසුවේ ය. ඇගේ අවුල් වී ගිය හිස කෙස් ඒ මේ අත ගොස් ය.  බාගෙට විවර වී තිබූ අගේ නිදන ඇදුමින් වැහැරෙමින් තිබූ ඇගේ ගත නිරාවරණය වී තිබුණි, දෙතොල් මැලවී ගොසිනි, ඇස් අවට කළු වී ගිලා ගිය සෙයකි, දෙපා ද රැලි වැටී ඇත. සිරිසේන දුටුවේ රතු ගවුමේ පැළුම මතින් දුටු නිමලාගේ දෙපාය. උඩට කර බද තිබූ කෙස්වැටියය.
“මටත් සාරියක් ද මොකක්ද දුන්නා”
දරු දෙදෙනා අලුත් බෝනික්කන් දෙදෙනෙකු තුරුළු කරන් නිදි ලොවෙහි ය.
............................................................................................................................................................
“අම්මී තාත්ති ළඟ අද හරි සුවඳායි” සපූ කෑ ගසන්නට විය. හිරූද අලුත් සුවඳට ඉව අල්ලයි”
“මොනවාද සිරී ඔය”
“නිමලා සැන්ට් එකක් දුන්නා”
“දැන් ඔයා සුවඳ ගහන් යන වයසක ද සිරි ඉන්නේ? එක එකා කරන විකාර වැඩ නො කර ඉන්න අනේ” කමලා සමච්චල් ලෙස සිනාසෙමින් පැවසුවද එහි කිසියම් හෝ කෝපයක් ගැබ්ව නොතිබුනාද නොවේ.
“සලාන්.......” සිරිසේන ඇත වූ සෙන්ට් කුප්පිය යන්තම් රතු මදින ලද සිමෙන්තියද පලුදු කරමින් කැබලි වලට බිදී බිම සී සී විසිරුණු ඔහු දෙනෙත් කෝපාග්නියෙන් රතු වී තිබුණි.
තමුසේ නාකි උනාට මන් නාකි වෙලා නෑ ගෑනියේ”
“මේ මිනිහට මොන යකෙක් වැහිලද? කමලා ඉකි බිදින ගමන් පැවසීය. සපූ බියපත් වී බලාගත් අත බලාගෙන හුන්නාය. ඇගේ දෙනෙත් බියෙන් මුසපත් වී තිබුණි.  හිරූ මවට තුරල් වී හඬන්නට විය.
කමලා අත වූ කොටු කොටු ලේන්සුවෙන් ඔතා පිගන් දෙකකට මැදි කර බඳින ලද සිරිසේනගේ දිවා ආහාරය තිබුණි.
සිරිසේන කිසිවක් නොපවසා නිවසින් බැහැර විය. තවමත් හිරු උදා වී නොතිබිණි. නිමලාගේ නිවසේ තිබූ ගුවන් විදුලි යන්ත්‍රයකින් ගුවන් විදුලි සංස්ථාවෙන් උදෑසන විකාශය කරන ලද පිරිත් නාදය ඇසෙමින් තිබුණි. වැඩපලට යන සිරිසේන ඉදිරියට ආවේ දාසය. දාස අත රත්‍රන් පැහැති ස්විස් ඔරලෝසුවකි. අලුත්ම ඩියුරෝ කමීසයකින් සැරසී සිටි ඔහු "ආ සිරිසේන අයියේ" පාච්චල් ලෙස සිනා සෙමින් පැවසීය. 
"අයියේ දැන්ම යන්න දැන් හයයි පනහයි, හන්දියෙන් බස් එක හතට නේද?" 
සිරිසේන එදින හවස ආවේ බීමතිනි. වෙනදා තාත්තී කියමින් පෙරගමන් එන දූවරු පෙනෙන්නට නොමැත.
"පිට දීප දේශ ජය ගාත්තා....... ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගාත්තා......." නිවස තුලින් ගී හඬක් ඇසේ.
"නංගී ඔයාට ඒ සින්දුව පාඩම්ද?"
"ජය ගාතා......ජය ගාතා......"
"අක්කි, අපි නිමලා නන්දිලාගේ ගෙදර යන් ටීවී බලන්න"
"නෑ නන්දිට කියමු අර පෙට්ටියට පටියක් දාල දෙන්න කියලා"
"නැන්දී හදලා දුන්නු කූල් රසායි නේද?"
"කමලා.........මේ මොකක්ද ඕයි මේ?" නිවසේ කෑම මේසය මත වූ ගුවන් විදුලි යන්තර දැකීමෙන් විමතියට පත් සිරිසේන බෙරිහන් දෙමින් විමසන්නට විය.
"ආ දණ්ඩ ආවේ, හන්දියේ මුදලාලිට කරාබු දෙක දීල එතන තිබුණු ණයත් පියවලා ඉතිරි එකෙන් තමා ඕක ගෙනාවේ, මට බෑ එක එකීලගේ ආඩම්බර බලන්න, ඔය රෑ කෑමකටත් එන්න කිව්වේ ගෙනාපුවා පෙන්නන වෙන්නැති. තෑග්ගට උපාධි සහතිකේ ඔතන් ගියානම් නම් හරි, ඒකිට දැන් නැත්තේ එච්චරනේ. ඔයාටත් ඕනා සුවඳ ගගහා යන්නනේ, මම නාකිනේ"
"තමුෂෙට පිස්ෂුද ඕයි?"
"නෑ තවම හැදුනේ නෑ, මෙහෙම ගියොත් නොහැදෙන එකකුත් නෑ, ඔය පොඩි එවුන් දෙන්නට පෙන්නලා තියෙන්නේ වරුනාවත් එක්ක, කනක් ඇහෙන්න නෑ කොයි වෙලෙත් නිමලා, නිමලා, නිමලා.
කුමක් හෝ තමාට වැරදුනු සෙයක් සිරිසේනට හැඟෙන්නට විය. කමලාගේ වදන් වෙනදා මෙන් නොවේ. ආදර සිරී ආමන්ත්‍රණය ඇගෙන් පලා ගොසිනි. දරුවන්ද බියපත්වූ ලෙස බලා හිදින්නට විය, නමුත් උන්ගේ බිය මොහොතකින් පලවා හරිමින් ගුවන්විදුලිය තව ගීතයක් වාදනය කරන්නට විය.
එදින රාත්‍රී සිරිසේනට ගැඹුරුම රාත්‍රියක් විය. රාත්‍රී කෑම හිරූටත් සපූටත් විනෝදජනක හා රසවත් වුවද නිමලාගේ වරුනාව හමුවේ කමලා දක්වන්නට වෙනස්ම ප්‍රතිචාරයකි. අගේ නුරුස්නා මුහුණ නිමලාගේ පුයර තවරන ලද මුහුණට වඩා කැපී පෙනුනි.
"අක්කලත් රේඩියෝ එකක් අරන් නේද?"
"ආ ඔව් නංගි, දැන් ඉතින් අපේ අසල වැසියෝ පොහොසත් උදවියනේ"
රැය සෙමෙන් ගෙවී යයි, සිරිසේනට ආහාර රස වුවද ඒවා උගුරෙන් පහලට යන්නේ ගෙල හිර කරමිදෝයි සිරිසේනට හැඟෙන්නට විය.
"නැඟී අපි යන්නම් නේද රෑ උනානේ, දුඋලව නිදි කරවන්නත් ඕනා"
"හ්ම්ම් හොඳයි අක්කේ, ගුඩ් නයිට්  හිරූ, සපූ ගුඩ් නයිට්"
"ගිඩ් නයිට් නැන්දී"
...................................................................................................................................................................
"තමුසෙට කෑම රස ඇති නේද මන් උයන ඒවට වඩා, අහුනනේ ඒකිගේ පාරට්ටුව, ගුඩ් නයිට්ලු, මේ තමුසේ දැක්කනේ ඒකිගේ බදු මුට්ටු, මෙන ලෝකෙන් හරි හෙට එද්දී ටීවී එකක් ගෙනාවා. ගෙවන්න හරි කමන් නෑ ගන්නවා, අපි කවුද අරකි කවුද, මන් මෙහෙම හරි මගුලක් ගෙනාව. තමුසේ හරි හෑන්ඩියානේ, තම්බලා දෙන දේ ගිලිනවා විතරයිනේ අර නිමල්ගේ මිනිහා වගේ.
කමලා හාත්පසින්ම වෙනස් වී ඇත. ය දරුවන් හා අනික් පස හැරී නිදන්නට සැරසේ. හෙමින් කාමරයෙන් එලියට ආ සිරිසේන ඉස්තොපුවේ පුටුවකට බර විය. හෙට පොත හූරලා ගන්නවා, දූලගේ පොත් දෙක තියෙනවනේ. සිරිසේන කල්පනා කරන්නට විය. ඉස්තොපුවේ දැල්වුණු විදුලි බුබුල නිවී ගියේය. තමා නිමලාට රැකියාවක් සොයා දුන්නානම් යයි සිරිසේනට සිතුනි.
...................................................................................................................................................................
කතාව කියවපු එකේ හිතෙන දේවල් කියලා ගියොත් ගොඩක් වටිනවා. අකුරු වල වගේම ව්‍යාකරණ වලත් අඩුපාඩු ඇති. මෙන්න මෙතුවක් කල් මම ලියපු කෙටි කතා ටික. ඒ සමහරක් කෙටිකතාද කියන්න මම දන්නේ නෑ. මොකද කෙටිකතාවට සමාජය දීපු සම්ප්‍රදායක රාමුව, ඒ අච්චුවට ඒවා වැටෙන්නේ නැති වෙන්න පුළුවන්.
වෙලාව තියෙනවානන් කියවලා යන්න. ස්තූතියි.


47 comments:

  1. මිනිස් සිතේ ස්වභාවය!!

    ගොඩක් වෙලාවට සැමියට කලින් බිරිඳ වයසට යන එක ඇතම් තැන්වල ගැටළුවක්! ඒක කතාවෙන් ලස්සනට පෙන්නලා තියෙනවා සොමියො.

    මම කල්පනා කරන්නෙ මෙතනින් එහාට මොනවා වෙයිද කියලා.??

    කතාව ලස්සනයි මචෝ!! එළ. (y)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රියා අයියා අදහස් වලට, මගේ බ්ලොග් රෝල්ට කෙලවෙලා වගේ, මුකුත් අප්ඩේට් වෙන්නේ නැහැනේ :(

      Delete
    2. අඩේ ඔව්මයි. අප්ඩේට් වෙලා නෑ තමා. මාත් මේ කියෙවුවෙ Google+ එකේ ශෙයා කරපු එකෙන්.

      පොඩ්ඩක් බලහන්. ඊයෙ ඉවාන්ටත් ඔය සීන් එකම උනා. ගූගලයා බීලාද කොහෙද?

      Delete
    3. අනේ දන්නා අයෙක් උදව් කරපියෝ :'(

      Delete
    4. ඉවාන්ගෙ එක ඊයෙ හදලා දීලා තියෙන්නෙ නිමෝ.

      මට මේකට මේලක් දාහන්, පොඩ්ඩක්.
      rscpriyashad@gmail.com

      Delete
    5. දැම්මෝ, අනේ තැන්කු තැන්කු

      Delete
  2. කතාව නරක නෑ, හොඳයි. කොහොම උනත් හෙඩිම 'ගිරය' නූනනං ටිකක් පැටලෙන්න ඉඩ තියනව. උඹ කියන්න බලාපොරෙත්තු වුන දේ ගැන විස්තර තවත් ටිකක් වැඩිවුනා නම් හොඳයි කියලත් හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් කතාව මටම බොරින් උනා රාජ් අයියා, කියන්න ගියී වෙන කතාවක්, ආයේ කියවලා බැලුවම කතාව ගලන ගිය විදියට මැද්දෙන් ඉවරයක් කරලා දැම්මා.

      Delete
  3. කතාවටම ගැලපෙන නම...
    සොමී මිනිස්සු නිතරම කමතී තමන්ට නැති දේට... තියෙන දේ වල අගයක් දකින්නහෙම නැ.... හරියට සිරී වගේ... නැති දේට නියවන ඒ ගැනම හිත හිත ඉන්නව...
    පට්ට කතාවක් සොමියො...
    ජයවේවා
    වැරදි නං දැක්කෙ නැ

    ReplyDelete
    Replies
    1. ස්තතියි මහේෂ්, එත් මේ කතාව මට නිකන් මදි වගේ, වෙන කතාවක් ඇත්තටම ලියන්න ගියේ, එත් මේ අවසානය මුලත් එක්ක සෙට් වුන නිසා මෙතනින් ඉවරයක් කරලා දැම්මා.(කම්මැලි කමට)

      රාජ් අයියා හරි, කතාවේ සිද්දි පෙළ ගැහෙන්නේ වෙන කතාවකට, අවසානයේ උච්ච වෙන විදිය කතාව ඇතුල ගලාගෙන එන්නේ නැහැ වගේ. මන්දා මටත් ප්‍රියා අයියා වගේ බැරි බරියාව හැදිලද මන්දා :(

      Delete
    2. සොමි ලියපු අනික් කතා එක්ක මේකෙ පොඩි අවප්‍රමාණයක් තියනව තමා.. ඒත් නැත්තටම නරක නෑ... කතාව අවුල් නං මං ලොවෙත් හොදා කියල කියන්නෑ සොමී... ටිකක් හරි හොදයි කියල දැනුනම තමා මං හොදයි කියන්නෙ...
      කතාවෙ ගැටීමක් නැති එකය් අවුල වගේ දැනෙන්නෙ

      Delete
    3. ගැටීමකට වැඩිය මානසික ව්යාකුලත්වය හා මනසේ ස්වාභාවයන් තමා නිරුපනය කරන්න හැදුවේ, නැති බැරි කම, යුතුකම් පහර හැරීම, ඉරිසියාව වගේම , කාමය වගේ දේවල් තමා කතාව අස්සට රිංගුවේ, නමුත් කතාව ගොඩ නැගුනු විදිය වගේම ළමා චරිත භාවිතයත් හරියට වුනේ නෑ කියලා තමා හිතෙන්නේ. තැන්කු තැන්කු.

      Delete
  4. සමාජේ ගොඩක් දෙනෙක්ගේ කතාව.. නැති දේට හුල්ලනවා.. තමන්ගේ දේ අගේ නෑ.. තව පොඩ්ඩක් දික් කරා නම් හොදයි වගේ නේද, විස්තර සහිතව.... ස්ටෝරිය එල...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් කම්මැලි බන් :D, සිරාවටම ලියන්න ගියේ වෙන කතාවක්. අපි බලමු. මට රබර් උනා මචන් කතාව, කියලා තියෙන්නේ නම් සහතික ඇත්ත.

      Delete
  5. \\ගමන් කරන බසයයේ කවුළුව නොයෙකුත් සිතුවම් චිත්‍රණය කරයි. බස් රිය ඉදිරියට ම ඇදී යන අතර නොයෙකුත් නැවතුම් වල විටෙක නවතමින් ද, විටෙක වේගයෙන් ද, තවත් විටෙක හෙමින්ද යයි, ඒ අතර මිනිසුන් ඊට ගොඩවෙනි, තවත් සමහරෙක් ඉන් බසිති, එ නමුදු සදා කල් රැඳෙන්නෙක් බසයේ නොමැත.//

    මෙන්න මේ සංඛේතාත්මක ප්‍රකාශය තුල ජීවිතයේ යථාර්තය මනාව ගැබ් වෙලා තියෙනවා. ඇත්තෙන්ම කතාව අපූරුයි. උඩින් ප්‍රියා කියල තියෙනව වගේ මිනිස් සිතේ සංකීර්ණ බව කදිමෙට නිරූපණය කරල තියෙනවා.

    "ගිරය"පුවක් ගෙඩිය තමයි සිරිසේන..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුති අදහස් වලට, ඔව් බස් එකේ ගමනින මට කියන්න ඕනා උනෙත් ඒ ටික, ඔබ හරියටම ඒ ටික අල්ලාගෙන, ස්තුතියි මිනිස් සිත විස්තර කරන්න හරිම අමාරුයි. මොකද එක කෙනෙකුට හරියන සිතිවිල්ල තව කෙනෙකුට වැරදියට පෙනෙන්න පුළුවන්, සිත වගේම සිතුවිලිත් සංකීර්ණයි. ඉතින් සිරිසේන දෙපැත්තෙන්ම තැලෙන කොට කැපෙන කොට ගිරය තමා හරිම නම. ස්තුතියි නැවතත්.

      Delete
  6. යකඩෝ චිත්‍රය හරියටම බැලුවෙ දැන්නෙ. ඔය තියෙන්නෙ ගිරෙයි පුවක් ගෙඩියයි අගේට. පංකාදු පහයි ඈ..

    ReplyDelete
    Replies
    1. :D ච්ත්රත් යන්තන් සන්තාන අදින්න පුළුවන්.

      Delete
  7. බස් රථය කතාවේ ආරම්භයට ආඳා ගැනීම සංකේතාත්මක වශයෙන් සොමියා සාර්ථක වීමකි, මට මෙහි නොගැලපෙන තැනක් ලෙස දිස් වුනේ විශ්වවිද්‍යාලයේදී හඳුනාගත් ... කියන කොටස තමා , සිරිසේන මුහුණ දෙන මානසික ව්‍යාකූල තාවය නම් පැහැදිලිව ඉස්මතුවෙලා පෙනෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කොටස අවුල් ගියේ මුළු කතාවම ආවේලියවුනේ නැති නිසා, බස් එකේ ගමන වගේ තමයි සිරිසේනගේ ගමනත්. මානසික ව්‍යාකූල තාවය ත් එක්ක හැම දෙයකින්ම සිරිසේන තැලෙනවා, ඒ අතරේ වහරෙන බිරිඳයි රූමත් නිමලයි අතර සිත දෝලනය වෙනවා. දරුවෝ සිරිසෙනව පවුලට ගැට ගහනවා. ගොඩක් ස්තුති අදහස් වලට.

      Delete
  8. //සිරිසේන කිසිවක් නොපවසා නිවසින් බැහැර විය. තවමත් හිරු උදා වී නොතිබිණි. නිමලාගේ නිවසේ තිබූ ගුවන් විදුලි යන්ත්‍රයකින් ගුවන් විදුලි සංස්ථාවෙන් උදෑසන විකාශය කරන ලද පිරිත් නාදය ඇසෙමින් තිබුණි.//

    මුල් කතාව එතනින් නිමා වන අතර අලුත් කතාව කෙටි සංස්කරණයකින් පසු මෙලෙසින් මොහොතකට කලින් එකතු විනි. ඉහත කොටසට පහලින් ඇති සියල්ල මුල් කතාවේ ගමන් මග වෙනස් කළා යයි සිතමි.

    ReplyDelete
  9. හැකිනම් මේ මවුස් පොයින්ටරෙන් පිනි වැටෙන එක අයින් කරන්න. යෝජනාවක් විතරයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, බ්ලොග් ලෝකෙට ආපු මුල්ම කාලේ බ්ලොගේට දාපු පොටි ගැජමැටික් එකක්, දැන් නම් එකේ කෝඩ් එක කොහේ හංගලාද මන්දා, මටත් හිතෙනවා ඒක කියවන යට අපහසුවක් කියලා. මම අයින් කරන්නම්, ස්තුතියි අදහසට.

      Delete
    2. බොහෝම සහෝදරත්වයෙන් කිව්වේ. ඒ වගේම අයින් කලාට ඔබටත් ස්තූතියි.. ඒක ටිකක් අවහිරයි ඇස් වලට කියවනකොට. ඔය තෙවනි පාර්ශවීය කෝඩ් එහෙමත් සමහර වෙලාවට බලපානව බ්ලොග් එක බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවෙන්න. අටම් අයියා තමයි මටත් කියල දුන්නේ.

      Delete
    3. හ්ම්ම් ඔව් මට මතකයි සෑම් අය්යත් මට ඕක කිව්වා ගැජමැටික් නිසා බ්ලෝග ස්ලෝව් වෙලා කියලත්. ඇත්ත, ඔක්කොම අනවශ්‍ය දේවල් අයින් කරලා දාන්න ඕනේ, ස්තිතියි ඇත්තටම එක කිව්වට.

      Delete
  10. දැනුයි අලුත් කොටස කියෙවුවෙ!!

    මම කලින් කමෙන්ට් එකේ කියපු //මම කල්පනා කරන්නෙ මෙතනින් එහාට මොනවා වෙයිද කියලා.??// ඒකට උත්තරේ හම්බ උනා. මම හිතපු උත්තරේට ආසන්නෙටම ආවා! මේ පවුලෙ අනාගතේ මම හිතපු විදිහටම විසඳේවි!

    මට නිකමට හිතෙනවා කමලත් රට යයි කියලා.!!

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් එහෙනම් අනුමානය සාර්ථකයි, කමලා රට යාම කෙසේ වෙතත් සිරිසේන ගෙදරින් යයි කියලා හිතෙනවා.

      Delete
  11. කතාවෙ මැදක් වෙනකං මං හිතාගෙන හිටියෙ “අබිනිස් කරපන් හිමි සමින්දා“ පෝස්ටි එක කතාවකට හරවල කියල. කොහොම උනත් මේ කතාව අරගෙන ගිය පාරත් හොඳයි.

    අනිත් අයට ලැබිල තියෙන දේවල් තමන්ටත් ඕනි වීමේ දුර්වලතාවය අපි හැමෝටම අඩු වැඩි විදිහට තියෙනවනෙ...

    ReplyDelete
    Replies
    1. මිනිස් ස්වාභාවයන් කතාවකට ගෙන එන්නයි හැදුවේ, පරණ ලිපිය මතකයේ තිබීම සතුටට කරුණක්, ස්තුතියි අදහසට.

      Delete
  12. ඉරිසියාව... නෑ නෑ හිතේ ස්වභාවය...
    මචෝ සොමියා.. විචාරය කරන්නනං දන්නේ නෑ.. හැබැයි සැබෑ ජීවිතේ මෙහෙමයි නේද කියලා දැනෙනවා...
    රසයි.. තවත් ලියමු...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. //ඉරිසියාව... නෑ නෑ හිතේ ස්වභාවය...//
      ඔය තියෙන්නේ හරිම විචාරය වචන දෙකෙන් තුනෙන්
      අනිවා ලියනවා විදානේ අයියා, පුළුවන් විදියට හිමි හිමීට
      ස්තුතියි ජය වේවා!!!!

      Delete
  13. තව ප්‍රශ්ණයක් බං //ඒ සමහරක් කෙටිකතාද කියන්න මම දන්නේ නෑ. මොකද කෙටිකතාවට සමාජය දීපු සම්ප්‍රදායක රාමුව, ඒ අච්චුවට ඒවා වැටෙන්නේ නැති වෙන්න පුළුවන්.// ඔන්න ඕක මටත් තියෙන ප්‍රශ්ණයක්. අපි ලියන කතාවක් සම්ප්‍රදායට එකඟ වෙන්නම ඕනද?????

    ReplyDelete
    Replies
    1. එකනම් හෙනම අවුලක්, මොකද හැම දෙකටම අච්චු රාමු තියෙනවානේ, (කෙටිකතාවක අච්චුව එහෙමත් නැත්තන් රාමුව චරිත කිහිපයක් සරල සිද්දි දෙක තුනක්, යම්කිසි ප්‍රභල ප්‍රකාශනයක්), ඉතින් ඒ රාමුව හරි සම්ප්‍රදාය හරි දීපු වචනයක් නේ ඔය කෙටි කතාව කියන වචනය, ඉතින් ඒ වචනය ඒ ආකාරයෙන්ම යොදන්න පුලුවන්ද කියන එකයි ගැටලුව. සම්ප්‍රදායෙන් පිට පන්න තැන තමා ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහිවෙන්නේ. එක තමා ඇත්ත, බුදු හාමුදුරුවෝ සම්ප්‍රදායන් 64 ක් තිබිච්ච ඉන්දියාව උඩු යටිකුරු කළා.

      Delete
  14. පසුව වෙනස් කරා නං ඒකට විරෝධය..

    ReplyDelete
    Replies
    1. :D හෙක් හෙක් අච්චු ගහපු කතාවක් නෙවෙයිනේ, ඉතින් වෙනස් කොරා. විරෝධය සාදාරනයි. :)

      Delete
  15. කමලා ,නිමලා හා සිරිසේන -චරිත තුනක් ආදරය රිදවූ සිතක් ආදරය වියැකුනු සිතක් සහ චංචල සිතක්
    ගිරය -එක සිත දෙතැනක නතර වෙලා
    විශ්ව විද්‍යාලේ ඉඳන්ම ආදරය කරලත් සිරිසේනට හිත එක්කෙනෙක්ට වෙන් කරන්න බැරිවෙලා....පාවෙන.... චංචල ... 'ආදරයක්' ..

    //දෙතොල් මැලවී ගොසිනි, ඇස් අවට කළු වී ගිලා ගිය සෙයකි, දෙපා ද රැලි වැටී ඇත. සිරිසේන දුටුවේ රතු ගවුමේ පැළුම මතින් දුටු නිමලාගේ දෙපාය. උඩට කර බද තිබූ කෙස්වැටියය.
    හැම අඩුපාඩුවක්ම පෙන්න අරන් තියෙන්නෙ දැන් .........

    මේක කියවද්දී මේ සින්දු ටික මතක් උනා

    කමලාගේ සිතිවිලි වලින්
    ...................................
    -සදා කාලික නොවූ ලෝකේ සදා කාලික ප්‍රේමයක් සොයා නෙක ගම දානව් පීරා ගෙවූ කාලය සිහිනයක් (සුනිල් එදිරිසිංහ )
    - සිත ඔබට මුවාවී ඉකිබිදිනා ඔබ ඇය හා සිනාසේ සුව විදිනා (නිරෝෂා විරාජිනී )
    -අහස ගුගුරා අකුණු පුපුරා ..මගේ සිත වැන්දබු උනා ..වසාගන් දොර මගේ හිමියනි නුඹට රිසිනම් යන්න යන්නෙමි (නන්දා මාලනී )

    ReplyDelete
    Replies
    1. හම්මේ අපේ හංසි සින්දුත් දන්නවනේ :D, මට නම් ඇහුවට මතක හිටින නෑ :(

      //විශ්ව විද්‍යාලේ ඉඳන්ම ආදරය කරලත් සිරිසේනට හිත එක්කෙනෙක්ට වෙන් කරන්න බැරිවෙලා....පාවෙන.... චංචල ... 'ආදරයක්' ..//

      හරියටම හරි, ඔව් ඔය විශ්ව විද්‍යාල පොයින්ට් එක පාවිච්චි කරේ ඒ කාලේ ඉඳන් පැවතෙන ආදරක් වෙනස් විය හැකියි කියන්නත් තව හරියටම කියනවනම් කමලා කියනවා උපාධි සහතිකේ තාගගට ඔතලා නිමලාට දුන්නනම් හරි කියලා. එතනට එන්න තමා එහෙම යෙදුවේ.

      ඊළඟට සබන් පොත්තක් වත් නැතිව නාන සිරිසේනත් එක්ක බැලුවම නිමලාගේ ආර්ථික නැගීම එයාගේ අම්ම සුවඳ සබන් ගාල නාන්නේ. කාලය මවන ආර්ථික වෙනස

      නිමලාට සල්ලි දෙන සිරිසේනට කඩේ නය අමතකයි, කඩේ ඉස්සරහා තියෙන ලොසින්ජර බෝතල් දැක්කම ළමයිත් අමතකයි. ඊකයි මානසික ස්වාභාවය කියන්න හදපු.

      තැන්කු හංසි කියවලා අදහස් එකතු කලාට. ජය වේවා!

      Delete
    2. කතාව ගොඩක් ගැඹුරෙන් හිතල ලියල වගේ .. හොඳයි හොඳයි ...අර බස් එකේ කවුළුව රූප පෙට්ටියට ආදේශ කල එකත් නියමයි.තව කියන්න බැරිඋනානෙ අර ඇන්ද චිත්‍රෙ ට පොඩ්ඩක් සංයමයෙන් පාට ගෑවානම් නියම චිත්‍රෙ :D

      Delete
    3. :D සංයමය තමා නැත්තේම, පේන්ට් එකෙන් අඳිද්දී මොන සන්යමයක්ද නංගියෝ, මගේ මාධ්‍යය පැස්ටල්, එක්කෝ කළු සුදු බී සීරියස් පැන්සල්, එක්කෝ පෑනක්, දියසායම් හා තෙල්සායම් අල්පයි, එත් කැමතියි, එකේ පාට ගෑවේ හිතේ සිතුවිලි විසිරෙන විදිය කියන්න, :D,

      Delete
  16. ලිපිය පල කරන්න කලින් ඉස්පිලි පාපිලි හැලිලද කියලා කීප සැරයක්ම බලහං සොමියො...මේ ලිපියෙ තැන් දෙක තුනක මම ඒ අඩුපාඩුව දැක්කා. සිදුවීම් සියල්ල ඉතා වේගයෙන් සිදු වූ බවක් දැනෙනවා...අන්න එතැනදි මට පොඩියක් විතර රහ නැති වෙනවා.....කථාවක් ගොඩනගන්න ගත්ත උත්සාහය අවංකව අගය කරනවා සොමියො.....

    ReplyDelete
    Replies
    1. අවවාධයට වගේම කියවල දක්වපු අදහසට ගොඩක් ස්තුතියි සිරා අයියේ, අනේ මන්දා තාමත් ගූගල් ඉන්පුට් ටූල් එක නුහුරුයි, එක නම් මගේ අඩුපාඩුවක්, ඔව් කතාවේ සිද්දි වේගයෙන් ගලා යනවා වගේ තමයි අයියේ, උපරිම උත්සහ කරනවා ඊළඟ කතාවෙන් අඩුපාඩු හදා ගන්න. ස්තූතියි. ජයවේවා

      Delete
  17. ටයිපෝ සීන් දෙක තුනක්ම දැක්ක කීප තැනක..

    කතාව නම් සුපිරි..එත් මුලදී තියෙන භාෂා විලාසය අග හරියේදී අතුරුදහන් වෙන එක ටිකක් අවුල් වගේ...

    මුල හරියේ තියෙන අර බස් එකේ සීන් වගේ උපමා උපමේය ආපහු දකින්න ආසාවෙන් දිගටම කියවගෙන ගියාට වැඩක් වුනේ නැහැ..

    මොනවා වුනත් අපි ගොඩ දෙනෙක් ගේ ජීවිත වලට සමීප අත්දැකීමක් අකුරු කරපු එකනම් බොහොම අගේ කොට සලකනවා...

    ReplyDelete
    Replies
    1. බස හැසිරවීම අතින් තාමත් නවකයි මම, කතා රසය ගලාගෙන යන්න තරම් බස ප්‍රභල උනේ නැති බව මටත් හැඟුනා, ටයිපින් අඩුපාඩු වලට වඩා ව්‍යාකරණ වල අඩුපාඩු ඇති. ස්තුතියි දක්වපු අදහසට, මගේ කුඩා කාලයත් මේ ළමයි දෙන්නගේ වගේ, අපිට ලයිට් තිබුනේ නෑ 3 වසටර එනකම්, ටීවී එකක් ගෙදරට ආවේ 7 දී, මමයි අයියයි ටී වී බලන්න දිව්වේ අල්ලපු ගෙදරට, එහෙන් තමා මුලින්ම දෙක පීස් එකක් බැලුවේ. ස්තුතියි අදහස් එකතු කලාට.

      Delete
  18. මම හිතන්නේ මම සොමියාගෙ කියවපු පළවෙනි කෙටිකතාව වෙන්න ඕනේ. ගොඩක් අය කියනවා වගේ අකුරු වැරදි ටිකක් තියනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තහම කතාව හොඳයි. ලොකු නාටකීය සිදුවීම් නැතිවම මිනිස් සිතුවිලි මතුවෙන විදිහට ලියලා තියනවා.

    අවසානයට නම් මගේ ලොකු කැමැත්තක් නැහැ. අපි විනාඩි ගණනකදී කියවන කතාවක් ඇතුලේ නිමලාගේ මුල් කාලය සහ දැන් තත්වය සංසංදනාත්මකව දැක්කට, අවුරුදු ගණනාවක් තිස්සේ සිද්ධවෙන මේ වෙනසින් පසුව, "නිමලාට රස්සාවක් දුන්නා නම්" කියන සිතුවිල්ලක් ඇති වෙන්න තියන ඉඩකඩ අඩු බව තමයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. ඔව්, එත් මගේ අත්දැකීමට අනුව මිනිස්සු ආර්ථිකයත් එක්ක කාලයත් සමග වෙනස් වෙනවා, තමන්ට ඇති කාලේදී අනුන්ට උදව්වක් කරන්න ගොඩක් ය අකමැතියි තමන් පාගාගෙන ඉහලට යයි කියලා, ඉතින් සිරිසේන කමලාට රස්සාවක් දුන්නනම් මුලදී කතාව මේ වගේ අවසානයකට එන්නේ නැහැ, එත් නිමලා රට ගිහින් අරගෙන එන ආර්ථික ශක්තිය හමුවේ කමලාගේ වෙනස් වීමත් ඒ සමගම ඇහැ දකින ලස්සනට සිත ඇදිලා යන හැටිත් ඒ, අවසානයේ නිවසින් එන පීඩනය හා නිමලාගේ ආර්ථික නැගම නවත්තන්න ඒ ගස මුලින් උපුටා දමන්න උදා වුනු අවස්තාව පැහැර හැරියා නොවේද කියලා සිරිසේන පශ්චත්තාප නොවී සිටීද? ඇයට කම්කරු රැකියාවක් සොයා දුන්නා නම් තාමත් අගේ ඇත හොරින් අල්ලමින් සිටින්නත් ඇය මෙවන් නැග්මක් නොනන්ගින්නත් ඒ වගේම කමලාගෙන් බේරී සිටීමට හැකි නොවේදැයි කියා සිරිසේනට නොසිතෙයිද?

      ස්තිතියි කියවා දක්වපු අදහසට, විවේචනය අගය කරනවා, ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා. නැවතත් ස්තූතියි.

      Delete
  19. තමන්ගේ දේට වඩා හුඟක් වෙලාවට අනුන් ගැනනේ මිනිස්සු හිතන්නේ

    සිතුවම කතාව තවත් තීව්‍ර කරලා තියෙනවා. ලස්සනයි.

    ReplyDelete
  20. අඩේ කතාව සිරාවටම ගති.. ඒ හැඟීම,,, අනේ මන්දා බං මිනිස්සුන්ගේ හිත් වල ස්වරූපට එක එක වෙලාවට වෙනස් වෙනවනේ.. මේකත් අන්න එහෙම එකක් කියලා තමයි කියන්න වෙන්නේ..

    උඹ ලියපු ඒවයි මම වැඩියෙන්ම කැමතිම මේක කියලා කියන්න පුළුවන්..

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...