Monday, September 29, 2014

කළු සුදු අළු - ඉරි රටා හැඩතල - බකන් නිලමු

කළු සුදු අළු - ඉරි රටා හැඩතල - බකන් නිලමු.

හරි කළු සුදු අළු එක්තරා විදියකට වර්ණ තුනක්.

කළු පාටට බහුතරයක් මිනිස්සු කැමති නැහැ ඒ ඒකේ නමයි පෙනුමයි නිසාම, කළු ජීවිත අඳුරු ජීවිත කියන හැඟීමක් කළු පාටින් මතු උනාට කළු කියන්නෙත් මේ ලෝකේ තියෙන තවත් එක පාටක්, කළු පාටේ ප්‍රකාශනය තදයි, ඒ වගේ ම ප්‍රබලයි, ඕනෑම දෙයක් අතරින් එකවර ඉස්මතු වෙන්න ඒ පාටට පුදුම හැකියාවක් තියෙනවා, විද්‍යාත්මක ව බැලුවම සියලු ම වර්ණයන් ඒ වර්ණය අවශෝෂණය කර ගන්න නිසා පරිවර්තිත වර්ණයක් නැහැ, ඉතින් දර්ශනය වෙන්නේ කළු විතරයි. එක එක්තරා අන්දමක ඇස රැවටීමක්.

 ඔව් ඔබත් මමත් ඒ රැවටීමේ කොටස් කරුවෝ, පාට රැවටීම තෝරා ගත්තා, අපි රැවටෙන එක තෝරා ගත්තා, ඒ තේරීම වෙනස් කල දා ඔබ කිසිම පාටක් නො දකිනු නියතයි.

සුදු ගැන මොකද හිතෙන්නේ, පන්සල ද මතක් වෙන්නේ එහෙමත් නැත්තන් ලණුවකින් ලයිට් කණු දෙකක ගැට ගහපු කොඩියක් ද මතක් වෙන්නේ.

අළු පාට සුදුත් කළුත් කලවම් උනාම ඒවා පාටක් උනාට ඒ වර්ණයට ඊට ආවේණික වෙච්ච ම අනන්‍යතාවයක් තියෙන වර්ණයක්, මිනිස්සුත් අළු පාට උනාට හැබැයි අඩු වැඩි වශයෙන් කළු සුදු පාටට බරයි.

පාට තිබුණාට පාට හුදකලා වෙනවා ඒවාට මතු වෙන්නේ ඉරි රටා හද තල නැත්නම්, ඉතින් ඒ සියල්ලේ සංකලනය තමා දෘශ්‍ය මායාව මමත් ඔබත් දකින.

ඉතින් මම අන්දපු ඒ මායාවල් ටිකක ඔබත් එක්ක බදාගන්නයි මේ සුදානම. හැමදාම ලියන එකේ චිත්‍ර ටිකක් ඔබට කියන කතා ටික පුලුවන්නම් කියවලා යන්න.

මතක තියා ගන්න ඔබ දකින දෙය නොවන බව ඔබට පෙනෙන්නේ එහි වෙනස බවත් වෙනසක් නොමැතිව ම ඔබේ ඉඳුරන් එය ග්‍රහණය කොට ඔබ මුලා කරන බවත්.

ඒ දේ හොඳින් මතක තියන් එහෙනම් ඉතින් බකන් නිලමු.


1.      නිව්ටන්ගේ මොලේ පිටකොටුව පොලේ  -  වැටුණු ඇපල්









2.      දහසකුත් කටු අතර තවමත් පිපෙන - කළු රෝස









3.      හිනාවෙයන් - උඹටම









4.      සන්ධ්‍යා කාලෙන
තැබෑරුම් අසලේන
බහුජන හිතාය
බහුජන සුඛාය

කාල(කන්නි)









5.      උඹලා දිව්වට සමහරු තාමත් එකතැන - අස්පයා








6.      සැපය සොයා - එක මිනිහෙක්









7.      පළමු තොටිල්ල - දෙතන










7.      නුඹේ කැඩපත - මුහුණ













හරි මේ සියලුම මායාවල් වලින් ටිකක් ඇන්දේ මෙහෙමයි කොම්පීතරෙන්, ඉතාම සතුටින් දැනුම් දෙන වගනම් මේ ක්‍රියාවලියෙන් පසු  මූසිකයේ වමත් බොත්තම ක්‍රියා විරහිත වී ඇත.










හරි එහෙනම් බකන් නිලන්න ආවට ස්තුතියි, මීට වඩා යමක් කරන්නයි උත්සාහ කලේ, මොනවා කරන්නද වයධම්මා සංකාරා නේ , ඉතින් මවුස් ඒකටත් ඒ දේ පොදුයිනේ.

ආ තවදෙයක්, මේ ටිකෙන් රසම සිතුවම මොකක්ද කියලා යනවා නම් ලොකු උදව්වක්, මටනම් කාලේ බෝතලේ.

Friday, September 26, 2014

කියවන එකේ වෙනසකට බකන් නිලන්න එන්න (ආරාධනා)

ජීවිතෙත් හරියට චිත්‍රයක් වගේ, ඒ චිත්‍ර පාට ගොඩයි, සංකලන, සම්මිශ්‍රණ, රටා, හැඩතල, හෙවනැලි, ආලෝකය, අඳුර, ඒ චිත්‍රෙ ඇතුලේ  කතන්දර ගොඩයි. එත් ජීවිතේ ඇත්තටම මොන පාටද? දකින පාටමද පීන්නේ, පෙනෙන පාටමද තියෙන්නේ? පාටට පාට කොහෙන්ද? පාට එකතුවුනාම එක චිත්‍රයක්ද? ඔබ පාට දකින්න ගත්තේ කවදා ඉඳන්ද?
මතකද අම්ම අන්දවපු ජංගි කොටේ ඇඳගෙන හුණු කුරකින්, පාට කුරකින්, අඟුරු කෑල්ලකින් ගෙයි බිත්ති වල හීන සිතුවම් කරපු හැටි. සමනල්ලු, මල්, සුරංගනාවියෝ, කෝ උන්? උන්ටික කොහෙද ගියේ?
මතකද? ඒ අතීතය, ඔබත් මෙහෙම කරාද?
ටක් ටක් ටක්
කව්ද ආවේ?
රාස්සියෙක්
මොකටද ආවේ
පාටක් හොයන්න
මොන පාටද
එදා ආපු රාස්සි ආයෙම පාට ඉල්ලන් කවම දාකවත් ආවේ නැහැ, එයා ඔක්කොම පාට අරන් ගියාද? අනුන්නට දුන්න පාට අස්සේ මම තාමත් මගේම්ම පාටක් හොයනවා. එතකොට ඔබ?
ජීවන සිතුවම ඔබ අඳින්නේ පින්සලෙන්ද? පන්සලෙන්ද? හුනු කූරකින්ද? නැත්තම් අඟුරු කෑල්ලකින්ද? හැබැයි ඔබට අලුත් කඩදාසියත් නැහැ, මකන කෑල්ලකුත් නැහැ
ඉතින් අඳින සිතුවම සමහර තැන වල වරදුනාද? වැරදුනා කියලා හිතුනද? ඉතින් වැරදුනාම සුදු පාට ගාල වැහුවද? නැත්තන් කළු පාටින් වැහුවද?
මිනිස්සු කළුත් නැහැ, හැබැයි සුදුත් නැහැ, කලවම් වෙච්ච අලුත් නෙවේ, එතකොට උන් මොන පාටද?
දේදුන්නේ පාටද?
වෙන්න බැහැ, දේදුනු කොහෙද අපි කොහෙද?
හරි තවත් මොටද වැල් වටාරම්, මිනිරන් කූරක් ගහපු පැන්සලෙන් අත තද කරොත් කළුම කළු පාටට ලියවෙනවා, බුරුලට කලොත් අළු පාටයි, හිස්තැන තිබිච්චාවේ, ඒවා සුදු පාටයි, ඒ කළු සුදු අළු වලින් මම දැකපු දේ මම හොයන පාටින් ටිකක් ඔබට දෙන්නයි වෑයම.
එහෙනම් මේ පුංචි ආරාධනාවක්
සඳුදා හිතුන වෙලාවක වෙන කොහෙවත් නෙවේ, මෙහෙටම ගොඩ වදින්න, නොලියපු දේ කියවන්න, ඒ දේ විඳිගන්න.
කළු සුදු අළු - ඉරි රටා හැඩතල
බකන් නිලන්න අවිත් යන්න.
මෙන්න එයින් දෙකක්.
1.     පැරදුන ප්‍රේමය - කළු රෝස


2.     අනේ නිව්ටන් බොලා මේක කෑවනම් - වැටුන ඇපල්

ඉතින් මත ඇතිව බකන් නිලන්න සදුදාට මේ පැත්තට එන්නකෝ, නොලියූ කතන්දර කියවන්න, නොලියූ කතා විඳගන්න, කළු සුදු අළු - ඉරි රටා හැඩතල.

Thursday, September 18, 2014

ගිරය (කෙටි කතාවට යන පාර)



බොලොග් රෝල පිස්සු කෙලීම නිසා කතාව බ්ලොග් රෝලේ අප්ඩේට් වීමේ ගැටළු මතුවී තිබුණි ඒ නිසා සමාවෙලා ඉහත ලින්කුව හරහා කතාවට යන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි, කතාවට පේන්ට් මෘදුකාංගය හරහා කම්මැලිකමට අඳින ලද සිතුවම මෙයය.

රෝල්ට කෙලවූ විට උදව් කල  ප්‍රියා අයියාට බොහොම ස්තුතියි. 

ගිරය (කෙටි කතාව)


කමලා බිනූ වදන් හමුවේ තමා මුව ගොළු වූවෙකු ලෙස කර බාගෙන හිටි අයුරු මතක් වන මොහොතක් පාසා  ඒ වදන් වල වූ ශොකී රාවය සිරිසේනගේ දෙසවන් තුල නින්නාද දෙන්නට විය, හදවතේ ගැඹුරුම තැනෙක තැන්පත් වී ඇති එම වදන් නෙත් කෙවෙති අගින් පිට වීමට වෑයම් කරන සෙයකි. හුස්ම හිරවෙන්නාක් සේ දැනෙන්නට වූයෙන් යන්තම් ඉහලට ඇදගත් හුස්ම “හ්ම්ම්” යන හඬත් සමග එලියට පිට කල ඔහු කවුළුව ඉදිරියෙන් ඇදී යන අවට දෙස බලා හිඳින්නට විය. ගමන් කරන බසයයේ  කවුළුව නොයෙකුත් සිතුවම් චිත්‍රණය කරයි. බසයේ කවුලුවත් රූප පෙට්ටියක්ම නොවේදැයි සිරිසේනට සිතුනි. බස් රිය ඉදිරියට ම ඇදී යන අතර නොයෙකුත් නැවතුම් වල විටෙක නවතමින් ද, විටෙක වේගයෙන් ද, තවත් විටෙක හෙමින්ද යයි, ඒ අතර මිනිසුන් ඊට ගොඩවෙනි, තවත් සමහරෙක් ඉන් බසිති, එ නමුදු සදා කල් රැඳෙන්නෙක් බසයේ නොමැත.
තමා කමලාත් සමග සතුටින් හා සමාදානයෙන් මෙතුවක් කල් ජීවත් වූ අයුරු සිරිසේනට දැනෙන්නට විය. විශ්වවිද්‍යාලයේ දී දැන හැඳින තමා කමලා හා ආලයෙන් වෙලුනු අයුරුත්, විවා පත් වී ආදරයේ රස තැන සොයා ගිය අයුරුත් ඔහුට මතක් වන්නට විය. කල් යත්ම ඔවුන්ගේ ආදරයේ උතතරීතර දායාදයන් සපූද, එමෙන්ම හිරූද ඔවුන්ගේ කැදැල්ලට එකතු වුන දා සිට නිවසෙන් වාන් දමමින් තිබූ සෙනෙහස දැන් පිටවානෙන් කොහේදෝ ඈතට පැන ගිය අයුරකි. කමලාගේ ආදරය කෙමෙන් කෙමෙන් තමාගෙන් හීන වෙවී යන හැටියකි.  නමුත් දැන් සියල්ල උඩු යටිකුරු වී හමාරය. සියල්ලට හේතුව නිමලාගේ ආගමනය නොවේ දැයි සිරිසේනට හැඟෙන්නට විය.
 “නිමලා වීරිය තියෙන එකී” සිරිසේනගේ තොල් පෙති ආයාසයෙන් විවර වවන්නටත් එයින් යළිත් හදවතේ ගැඹුරු ම තැනකින් පැන ආ සුසුමක් පිටවිය.
“මහත්තයා බහින්නේ නැද්ද? ටවුමටත් ආවා” කොන්දොස්තර කොලුවා සිරිසේනගේ සිහින ලෝකය බිඳින්නට සමත් විය.
“ආ හරි හරි, මට මට පොඩ්ඩක් මේ නින්ද ගියා” යයි පිළිවදන් දුන් සිරිසේන බසයෙන් බැස තම ගමනාන්තයට මහමෙර ඉසිලුවෙකු එබර කර මතින් ගෙන ඇදෙන පරිද්දෙන් ගාටන්නට විය.
............................................................................................................................................................
“වෙලාවට බත් කට කන්ටනම් එනවා, ගෑනියෙක් හැටියට මන් කරන සුමේ මේ මිනිහට පෙන්නේ නැති ගානයිනේ අක්කා”
“එක අතකට ඕවා ඔයාගෙත් වැරදි නිමලා, ඔයා ඔය මිනිහව නලවනවා වැඩි මට නම් හිතෙන්නේ”
“කාපු පිඟානවත් හොදන්නති කොට ඒ වගක් මොනවටද අක්කා”
“ඇත්තෙයි උඹ ඔය කියන්නේ නංගි?”
“සත්තයි අක්කා, මට වෙලාවකට හිස හැරුණු අතේ යන්න හිතෙනවා, එත් අම්මව දාල කොයි යන්නද? හ්ම්ම් මොනවා උනත් ඒ මගේ කසාද මිනිහානේ”
............................................................................................................................................................
“මටනං නිමලා පවු කියලත් හිතෙනවා සිරි, ඒ මිනිහා කාපු පිඟානවත් හොදන් නැතිලු”
“බේබද්දෙක්නේ”
 “හ්ම්ම්, අම්මලා ආපු වෙලාවෙත් දුව ගෙන ඇවිත් සේරම බඩ බැඳන් කරලා වලං හිටන් හෝදලා දීලනෙ ගියේ, මම සල්ලි කීයක් හරි මිට මෙලෙව්වම එපාම කිව්වනේ, හාල් තුනපහ ටිකක් දුන්නම අනේ ඕනාත් නෑ අක්කේ කියලා එත් පින් දීල ගන්නවා”
“ඒකි හිත හොඳ එකී, අර කාලකන්නියා නිසානේ ඔහොම වෙලා තියෙන්නේ”
“ඔයාට බැරිද ඔය ඔපිස් එකේ තේ හදන වැඩක් වත් මොකක් හරි හොයලා දෙන්න”
“නෑ නෑ ඕනා නෑ ඕවා මහා අහක යන කරදර වැටෙන වැඩ, අපි අපේ වැඩක් බලා ගෙන ඔය පුළුවන් විදියකට උදව්වක් කර ගෙන ඉමු, ඔය ලාම්පුව නිවල එන්න නිදා ගන්න”
නිමලා සිරිසේනලාගේ නිවසට යා ව ඇගේ රෝගී මවගේ කල මනා කරමින් සහ බේබදු සැමියෙකුගේ පති දම් රකිමින් දුකසේ දිවි ගෙවන්නියක විය. කවර හෝ කාලයක දැමු බවුන්ඩේසම මත ඉටි කොළ හා ලෑලි කෑලි වලින් වට වූ කොටුවක උන් සියල්ල වාසය කරයි, හිසට ඉහළින් සුළඟට ඒ මේ ඇත වැනෙන තහඩු කොළ කිහිපයක් එහි ඇත. ඇය කෙසේ හෝ කුලියක් කර පවුල් ජීවිකාව ඇද ගෙන යන අතර අගේ බේබදු සැමියා ඇයයගෙන් යැපෙමින් ඇය පීඩාවට පත් කරයි. ඇගේද සැනසීම වූයේ ඉස්පාසුවක් ලද මොහොතක සපූ හා හිරූ සමග කාලය ගෙවීමයි.
............................................................................................................................................................
“මහන්සියි අප්පා හරියට” කියමින් සිරිසේන හැන්දෑ යාමයේ බැස යන හිරු රැස් අතරින් නිවසට ගොඩ වැදිණි. පරිසරයට වඩා ඔහුගේ මුහුණ මලානික ය. වෙනදා තාත්ති මොනවාද අපට ගෙනාවේ අසමින් තමා අසලට දුවගෙන එන හිරූත් සපූත් පෙනෙන්ට නොමැත.
“කෝ දූලා?”
“මේ හරි වැඩේනේ, දෙන්න නිමලාත් එක්කමයි, නිමලාත් පණ ඇරලා දෙන්නට, ඔන්න දෙන්නා ඉදි ආප්ප මිරිකනවා, කන්න පුළුවන් වෙයිද මන්දා”
“දෙන්න මොනවා කරගත්තද දන් නෑ”
“තාත්තී........, අක්කියි මායි ඉදි අප්පා හැදුවා නිමලා නැන්දිත් එක්ක, තාත්තී එන්ටකෝ කන්ට, රසායි.”
“තාත්තිට කරදර නොකර ඉන්නකෝ දූ, තාත්තී ඇඟ සෝදාගෙන එයිනේ”
“කෝ දූ හදාපුවා කන්න තාත්ති ඇඟ සෝදාගෙන එන්නම්කෝ”
ඇදුම් ලිහා දමා සරමකට ගුලි වී තුවායක් රැගෙන ලිඳ ලඟට ගිය සිරිසේන ලිඳෙන් ඇදගත් වතුර පනිට්ටුව ඇඟට හලාගත්තාය, සීතල වතුර ඔහු ගත කිලි පොලා යවන්නට සමත් විය.
“හූ මෙන්න තාත්ති වෙව්ලනෝ, හූ හූ සීතලායිද තාත්ති”
“අහකට යන්න දූ තෙමෙන් නැතිව... අම්මිගෙන් සබන් කෑල්ලක් ඉල්ලන් එන්නකෝ”
“සබන් ඉවරයි සිරි, දූලා නාවද්දීත් තිබුනේ පොත්ත, ඕන් දෙන්නවම අද නෑව්වේ නිමලා”
“සබනුත් ඉවරද?”
“හ්ම්ම්”
............................................................................................................................................................
“අක්කේ, අක්කේ......”
“ඇයි නිමලා මොකුත් හදිස්සියක්වත්ද?
“අනේ නෑ අක්කේ, මම මේ රට රස්සාවකට යන්න කියලා, හැමදාමත් මෙහෙම ඉඳලා හරියන නැහැනේ.”
“උඹට ඕවයේ ගොහින් පුරුදුය?”
“මොනවා කරන්නාද අක්කේ, ටවුමේ ඒජන්සියේ රෙජිස්ටර් උනා අක්කේ, පාස් පොත නම් එයාල හදලා දෙනවයි කියලා පින්තූරත් ගත්තා.”
“උඹලා ඔබයේ ගිහින් කවුද අම්මව බලා ගන්නේ”
“එක තමයි අක්කේ මටත් තියෙන දුක, එත් ඉතින් මොනවා කරන්නද අක්කේ”
“උඹට ඕවයේ යන්න සල්ලි තියෙනවද නංගියේ?”
“එකවර ගෙවන්න තියෙන ගානට තමා හිඟ පාඩු තියෙන්නේ, එහෙ ගිහිල්ලත් ගෙවන්න ඇහැකිලුනේ”
“මම අයියා ආවම කියලා බලන්නම්කෝ, අනේ මන්දා කෙල්ලෝ දෙන්නට තමයි පාඩුව”
“කොයි අක්කේ දූලා දෙන්නා?”
“ඔන්න වදෙන් පොරෙන් කවලා දැන් නිදි, ඔයැයිටම හුරු වෙලා බත් කන්නත් ඔයයි ඕනෙලු”
“දුලා දෙන්න දාල යන්න මටත් දුකයි අක්කේ, එත් මං නොයා කොහොමද?”
............................................................................................................................................................
“සිරි, ඔයා ඊයේ රෑ නිදා ගත්තේ නෑ නේද?”
“හ්ම්ම් ඔව් පොඩි හිසරදයක් ඇල්ලුවා”
“ඉන්න මම තේ හදා ගෙන එන්නං”
සිරිසේන පෙර දා රාත්‍රිය ගත කලේ නින්දත් නො නින්දත් අතරය, ඇඳ විට්ටමට හේත්තු කර ගත් කොට්ටයට පිට දී මුළු රෑ ම ඔහු කල්පනා ලොවක තනි වී සිටියේ ය. කමලා දරුවන් තුරුලු කර ගෙන නින්දෙහි ය. නින්ද ඔහු අසල කවත් නොමැත.  නිමලා රට රැකියාවකට යන්නට සූදානම් වන බව කමලා පැවසීමත් සමග හිතේ තෙරපෙන පීඩාවකින් ඔහු පෙළන්නට විය. ඉඳ හිට කමලාට හොරා නිමලාගේ අතින් අල්ලා විහිළුවක් කිරීමටත් ඇති විටක කීයක් හෝ ඇය අත ගුලි කර “අක්කට ඕවා කියන්න යන්න ඕනෙ නෑ” යනුවෙන් පැවසීමටත් සිරිසේන පුරුදු ව සිටියේ ය. නිමලා ද ඒ කිසිවකට අකමැත්තක් පෙන් වූයේ නැත. කොළ සිනාවෙන් ඇය තව තවත් සිරිසේනව උද්දීපනය කලාය.
............................................................................................................................................................
“සිරිසේන මහත්තයා..., වැඩ ඇරිලා ගෙදර යනවා වෙන්නැති”
“ඔව් මුදලාලි, අද ටිකක් වේලපහින් ආව”
“ගණන් පොතෙත් ගනු දෙනු වගයකුත් තියෙනවා සිරිසේන මහත්තයෝ”
“හරි මුදලාලි මේ මාසේ පඩි ගත්තම ඒ ඔක්කොම බේරන්නම්කො, එහෙනම් මන් එන්නම්”
“හොඳා හොඳා”
නිවසට හැරෙන පාරේ පිහිටි සිල්ලර කඩයෙන් ඇතැම් විට ණයට ගනුදෙනුවක් කර ගැනීමට කමලා පුරුදු ව සිටියා ය. කඩය තුල වූ මේසය මත ලොසින්ජර හා නාන ප්‍රකාර රස කැවිලි දැමු බෝතල කිහිපයක් එකිනෙක පරයා දිලෙමින් තම ආනුභාව පෙන්වයි. ඒවාට පිටුපසින් ලාච්චුව දිගහැරගත් මුදලාලි පුටුවට බරදී උපැස් යුවලින් නෙත් වසා ගෙන ණය පොත කියවයි.
“නිමලා.........නිමලා...........”
“ආ මේ සිරි අයියානේ, එන්න ඇතුලට”
“කාරී නෑ කාරී නෑ උඹලා රට රස්සාවකට යන්නලු නේද?”
 “නොගිහින් කොහොමද අයියා, හැමදාමත් මේ දුක විදින්න බැහැනේ?”
“කෝ දාස? මොකද මිනිහා පෙන්න නැත්තේ”
“ඔන්න අම්පාරේ මොකක්ද වැඩකට ගිහිල්ලා අයියේ, එහෙත් බීගෙන නටනවා ඇති”
“උඹලා ගියාම අපිට තමයි පාඩු”
“නිකන් ඉන්න අයියා විහිළු නොකර”
“විහිළු නෙවේ බන්”
“ඉන්න මන් තේ කහට ටිකක් හදාගෙන එන්න”
“ඕනා නෑ ඕනා නෑ දැන් ඔහොමම ගෙදර යන එකනේ, ආ මේක තියා ගනින්, අක්කට ඕවා කියන්න යන්න ඕනා නෑ, උඹ පස්සේ වෙලාවක හිමීට බේරපන්”
“පින් සිද්ද වෙනවා අයියේ”
“උඹලගේ පිනෙන් වැඩක් නෑ බන්, උඹලා ඉතින් අපිව දාල යනවනේ”
“මම අයියලාව අමතක කරන්නේ නෑ”
“මම යනවා බන්”
............................................................................................................................................................
“තාත්තී, මොනවාද අපට ගෙනාවේ?” හිරූ පෙර ගමන් එයි.
“නංගී, බලන්නෝ..... තාත්ති හන්ගාගෙන ඇත්තේ, හොයාගන්නෝ.....” සපූ හිරූට උපදෙස් දෙයි.
සිරී දැන්ද ආවේ, මොකද අද කලින්?” කමලාද විමසයි.
“කෝ තාත්ති ගෙනාපුවා”
“තාත්තිට මතක නැති උනානේ දූ, තාත්ති හෙට අර රතු පාට රහ ඒවායින් ගෙන්නම්කො, කෝ තාත්තිට සමාව දෙනවද?”
“තාත්ති හරි නරකයි, අපි තරහම තරහයි, ඔන්න හෙට නම් මතක ඇතිව ගෙන්න ඕනා” සපූ පැවසීය. හිරූගේ මුහුණ මැලවී ගොසිනි. ඇය දැන් මව තුරුලේය.
“මොකද සිරි උනේ, ඇයි කලින්?”
“හිස රදේ වගේ කමලා, ටිකක් කලින් ආව”
“හ්ම්ම්, මේ දවස් දෙක තුනට ඔයා හරියට වෙනස් වෙලා, මුණත් මැලවිලා, මොකද ඔපිස් එකේ ප්‍රශ්නයක්වත්ද?”
නෑ කමලා එහෙම මුකුත් නෑ, මේ දවස් ටිකේ මහන්සි උන නිසා වෙන්නැති”
කෙමෙන් හිරු බස ගොස් රාත්‍රිය උදා වෙයි, චිමිනි ලාම්පුවෙන් ආලෝකමත් වූ සාලය තුල දැරියන් හෙවණැලි රටා මවයි. සිරිසේන ඔහුගේ මනෝ ලෝකයේ ය.
“ඔන්න නංගී මේන් සමනළයා”
“ශා කෝ අර හාවා”
“ලොකූ ලාම්පුව ගාවින් අයින් වෙන්න, අනේ සිරි මේ ළමයි දෙන්න දිහා පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්නකෝ, මට කුස්සියේ ඉඳන් පුළුවන් ද, මොකද ඔයාට වෙලා තියෙන්න?”
“පොඩි යන්න තාත්තා ගාවට, ලොකූ හ්ම්ම් හ්ම්ම්”
“තාත්තී කෝ කතාවක් කියන්නකෝ”
“තාත්ති දන්නවද නිමලා නැන්දි රට යනවලු, සෝයි නේද? අපට සෙල්ලම්බඩු ගොඩාරියක් ගේනවලු”
“ඇත්තද දූ?”
“ඕ......අක්කි අපිත් නැන්දිත් එක්ක යන් නේද”
“එතකොට තාත්ති”
“තාත්තිත් එක්කං යන්”
“නැන්දිට දූලා අමතක වෙයි එහෙදි” දූලා කෙසේ වෙතත් ඔහුව අමතක වී යයි අනියත බියකින් ඔහු පෙළෙන්නට විය.
“නෑ නන්දි හොඳායි”
“පව් අසරණි, නැති නාස්ති වෙලා යයි” සිරිසේනගේ මුවින් නො කියවුනත් සිත එසේ කීවේ ය.
නිමලා රට රස්සාවකට ගියා ය, හැඬුම් වැලපුම් මැද සියල්ලට ම සමු දී නිමලා සැමගෙන් වෙන් වී කතර හුදකලා වූවා ය. “අනේ අක්කේ අම්මව පොඩ්ඩක් බලා ගන්න, මන් හැකි විදියට ලියුම් කඩදහියක්වත් එවන්නම්” ඇයගේ අවසන් ඉල්ලීම විය. සියල්ලට ම වඩා හුදකලා වූයේ සිරිසේන ය. ඒකාකාරී ජීවන රටාව පුනරාවර්තනය කරමින් සිරිසේන කාලය ගෙවා දමන්නට හුරු විය.
............................................................................................................................................................
කාලය ගෙවී යත් ම සිරිසේනලාගේ නිවසට යාව තිබූ බවුන්ඩේසම වටකොට සිටි ඉටි කොළ හා ලෑලි වෙනුවට සිමෙන්ති ගල් බැදෙන්නට විය. නිමලා එවන ලද මුදලින් නිමලාගේ මවද සුව පත් වී ඇති සෙයකි. ඇය යුහුසුලු ව නිවසේ වැඩ කටයුතු සොයා බලමින් කාලය ගෙවයි.
“තාත්තී, අල්ලපුගෙදර ආච්චි දැන් සුවඳ සබන් ගාලා නානවා, අප්පා ඒවායේ සුවඳ”
“ඇයි දූලා ගාන සබන් සුවඳ නැද්ද?”
“සුවඳයි, එත් ආච්චිගේ සබන් සුවඳායි නේද නංගී, එයාලා දැන් ලයිටුත් ගන්න වලු, සෝයි නේ තාත්ති”
“අක්කි අපිත් එහෙ යන් නේද?”
ළදැරියන්ගේ වදන් සිරිසේනට බරය, පපුවට යවුලින් අනිනා සේය.
“සිරි, දරුවොත් එක්ක හැමදාම කරුවලේ ඉන්න බෑනේ, අපිත් ලයිට් ගමුද?”
“බලමු”
“දහමාසේ ලෝන් එක වත් ගත්තොත් එකෙන් ලයිට් ගන්න පුළුවන් වෙයි නේද?”
“අපි බලමු කමලා”
කමලාගේ බලවත් වෑයම මත සිරිසේන නිවසට විදුලිය ලබා ගත්තේ ය. හිරූටත් සපූටත් සතුට නිම් හිම් නොවීය. ළදැරියන් දෙදෙනා සාලය මද දැල්වෙන කහ පාට විදුලි බුබුලේ ආලෝකය ආගන්තුක විය. ඔවුන් දෙදෙනා සාලය තුල ගී කියමින් නටන්නට විය. ඒ දෙස බලාහුන් කමලාගේ මුහුණ බැබළෙන්නටත් සිරිසේන තමාගේ මනෝ ලෝකයේ රජ වන්නටත් විය. නමුත් නිවස තාමත් අන්ධකාරයේ ඇති සෙයකි. බාගෙට සාදන ලද නිමලාගේ නිවස තුලින් ද විදුලි බුබුළු දැල්වේ. එය පහන් කූඩුවක අසිරිය විදහා පායි.
............................................................................................................................................................
පුරා වසර හතරකට පසු එක් දිනක නිමලා යලි පැමිණ සිටියා ය. සිරිසේන ද පුරුදු පරිදි වැඩ නිම වී නිවස දෙසට පැමිණෙමින් සිටියේ ය. නිමලාගේ නිවස ඉදිරිපිට තොල් රතු කර අව් කන්නාඩියක් පැළඳ සිටි තරුණියකි. කොණ්ඩය අලුත් ආරකට මුදුන් කොට බැඳ පැත්තකින් කඩා දමා ඇත. හඬ සිටි රතු පැහැති දිග ගවුම යටින් තරමක් දිගට පලා ඇත. කිරිගරුඬ වන් දෙපා දෙකක් ඉන් යන්තම් නිරාවරණය වෙයි. ඈ දුටු මතින් ම සිරිසේනට ටවුමේ හවසට සිටින කෙල්ලන් මතක් විය. සිරිසේනගේ දෙපා ඒ දෙසට ගාටන්නට විය.
“මේ සිරි අයියා නේද? තාමත් ඒ වගේ මයි, අඳුනන්න පුළුවන් ද ?”
“මේ නිමලා නේද?”
“හම්මේ එහෙනම් අපිව මතකයි, යන ඇතුලට මොනවා හරි බීල යන්න”
කිසිත් අදහා ගත නො හැකි වූ සිරිසේන නිමලා දෙස ඇසි පිය නොහෙලා බලා සිටින්නට විය. කාර්යාලය ඉදිරිපිට වූ මැනවින් පිරියම් කරන ලද ගරාවැටී තිබූ පිළිමය සිරිසේනට මතක් විය.
නිමලා තමා ව නිවස තුලට කැඳවූයෙ මන්ද? ආ විසින් රැගෙන එන ලද බඩු මූට්ටු පෙන්වීමට ද? බොහෝ කලකින් දුටු නිසා ඈ කතා නො කලා විය හැකි ද? ඈ තමා හා කතා කල එක කොතරම් හොඳද? ආ තමා හා කතා නො කලා නම් ඇය අහංකාර වී ඇතැයි තමාට නොසිතේවි ද? තමා එහි ගොඩ වූ පසු මහත් අපහසුතාවට  පත්  වූවා නොවේ ද? අගේ බදු බාහිරාදිය දැකීමෙන් තමා තුල ඇති වුයේ කුමන හැඟීම් ද? සියල්ලට වඩා දිනෙන් දින වැහැරී යන කමලා හා බැලුව කල නිමලා කෙතරම් රූමත් නොවේ ද? දහසකුත් එකක් සිත තුල උපදින ප්‍රශ්න නිදියහනේ සිරිසේන ව පෙළන්නට වූයෙන් නින්ද නම් අසලක වත් නොවීය.
“සිරී, මොකද අදත් නින්ද යන්නේ නැද්ද?” කමලාටද නින්දක් නොමැති සේය.
“හ්ම්ම්” ඈ දෙස නොබලාම සිරිසේන කෙඳිරීය.
“නිමලාට දැන් සරුයි නේද සිරි, අද වෑන් එකක් පුරවලා මොන මොනවදෝ පෙට්ටි ගොඩාක් ගෙනාවා”
“ඇත්ත ද?” කමලා දෙස බැලූ සිරිසේන ඇසුවේ ය. ඇගේ අවුල් වී ගිය හිස කෙස් ඒ මේ අත ගොස් ය.  බාගෙට විවර වී තිබූ අගේ නිදන ඇදුමින් වැහැරෙමින් තිබූ ඇගේ ගත නිරාවරණය වී තිබුණි, දෙතොල් මැලවී ගොසිනි, ඇස් අවට කළු වී ගිලා ගිය සෙයකි, දෙපා ද රැලි වැටී ඇත. සිරිසේන දුටුවේ රතු ගවුමේ පැළුම මතින් දුටු නිමලාගේ දෙපාය. උඩට කර බද තිබූ කෙස්වැටියය.
“මටත් සාරියක් ද මොකක්ද දුන්නා”
දරු දෙදෙනා අලුත් බෝනික්කන් දෙදෙනෙකු තුරුළු කරන් නිදි ලොවෙහි ය.
............................................................................................................................................................
“අම්මී තාත්ති ළඟ අද හරි සුවඳායි” සපූ කෑ ගසන්නට විය. හිරූද අලුත් සුවඳට ඉව අල්ලයි”
“මොනවාද සිරී ඔය”
“නිමලා සැන්ට් එකක් දුන්නා”
“දැන් ඔයා සුවඳ ගහන් යන වයසක ද සිරි ඉන්නේ? එක එකා කරන විකාර වැඩ නො කර ඉන්න අනේ” කමලා සමච්චල් ලෙස සිනාසෙමින් පැවසුවද එහි කිසියම් හෝ කෝපයක් ගැබ්ව නොතිබුනාද නොවේ.
“සලාන්.......” සිරිසේන ඇත වූ සෙන්ට් කුප්පිය යන්තම් රතු මදින ලද සිමෙන්තියද පලුදු කරමින් කැබලි වලට බිදී බිම සී සී විසිරුණු ඔහු දෙනෙත් කෝපාග්නියෙන් රතු වී තිබුණි.
තමුසේ නාකි උනාට මන් නාකි වෙලා නෑ ගෑනියේ”
“මේ මිනිහට මොන යකෙක් වැහිලද? කමලා ඉකි බිදින ගමන් පැවසීය. සපූ බියපත් වී බලාගත් අත බලාගෙන හුන්නාය. ඇගේ දෙනෙත් බියෙන් මුසපත් වී තිබුණි.  හිරූ මවට තුරල් වී හඬන්නට විය.
කමලා අත වූ කොටු කොටු ලේන්සුවෙන් ඔතා පිගන් දෙකකට මැදි කර බඳින ලද සිරිසේනගේ දිවා ආහාරය තිබුණි.
සිරිසේන කිසිවක් නොපවසා නිවසින් බැහැර විය. තවමත් හිරු උදා වී නොතිබිණි. නිමලාගේ නිවසේ තිබූ ගුවන් විදුලි යන්ත්‍රයකින් ගුවන් විදුලි සංස්ථාවෙන් උදෑසන විකාශය කරන ලද පිරිත් නාදය ඇසෙමින් තිබුණි. වැඩපලට යන සිරිසේන ඉදිරියට ආවේ දාසය. දාස අත රත්‍රන් පැහැති ස්විස් ඔරලෝසුවකි. අලුත්ම ඩියුරෝ කමීසයකින් සැරසී සිටි ඔහු "ආ සිරිසේන අයියේ" පාච්චල් ලෙස සිනා සෙමින් පැවසීය. 
"අයියේ දැන්ම යන්න දැන් හයයි පනහයි, හන්දියෙන් බස් එක හතට නේද?" 
සිරිසේන එදින හවස ආවේ බීමතිනි. වෙනදා තාත්තී කියමින් පෙරගමන් එන දූවරු පෙනෙන්නට නොමැත.
"පිට දීප දේශ ජය ගාත්තා....... ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගාත්තා......." නිවස තුලින් ගී හඬක් ඇසේ.
"නංගී ඔයාට ඒ සින්දුව පාඩම්ද?"
"ජය ගාතා......ජය ගාතා......"
"අක්කි, අපි නිමලා නන්දිලාගේ ගෙදර යන් ටීවී බලන්න"
"නෑ නන්දිට කියමු අර පෙට්ටියට පටියක් දාල දෙන්න කියලා"
"නැන්දී හදලා දුන්නු කූල් රසායි නේද?"
"කමලා.........මේ මොකක්ද ඕයි මේ?" නිවසේ කෑම මේසය මත වූ ගුවන් විදුලි යන්තර දැකීමෙන් විමතියට පත් සිරිසේන බෙරිහන් දෙමින් විමසන්නට විය.
"ආ දණ්ඩ ආවේ, හන්දියේ මුදලාලිට කරාබු දෙක දීල එතන තිබුණු ණයත් පියවලා ඉතිරි එකෙන් තමා ඕක ගෙනාවේ, මට බෑ එක එකීලගේ ආඩම්බර බලන්න, ඔය රෑ කෑමකටත් එන්න කිව්වේ ගෙනාපුවා පෙන්නන වෙන්නැති. තෑග්ගට උපාධි සහතිකේ ඔතන් ගියානම් නම් හරි, ඒකිට දැන් නැත්තේ එච්චරනේ. ඔයාටත් ඕනා සුවඳ ගගහා යන්නනේ, මම නාකිනේ"
"තමුෂෙට පිස්ෂුද ඕයි?"
"නෑ තවම හැදුනේ නෑ, මෙහෙම ගියොත් නොහැදෙන එකකුත් නෑ, ඔය පොඩි එවුන් දෙන්නට පෙන්නලා තියෙන්නේ වරුනාවත් එක්ක, කනක් ඇහෙන්න නෑ කොයි වෙලෙත් නිමලා, නිමලා, නිමලා.
කුමක් හෝ තමාට වැරදුනු සෙයක් සිරිසේනට හැඟෙන්නට විය. කමලාගේ වදන් වෙනදා මෙන් නොවේ. ආදර සිරී ආමන්ත්‍රණය ඇගෙන් පලා ගොසිනි. දරුවන්ද බියපත්වූ ලෙස බලා හිදින්නට විය, නමුත් උන්ගේ බිය මොහොතකින් පලවා හරිමින් ගුවන්විදුලිය තව ගීතයක් වාදනය කරන්නට විය.
එදින රාත්‍රී සිරිසේනට ගැඹුරුම රාත්‍රියක් විය. රාත්‍රී කෑම හිරූටත් සපූටත් විනෝදජනක හා රසවත් වුවද නිමලාගේ වරුනාව හමුවේ කමලා දක්වන්නට වෙනස්ම ප්‍රතිචාරයකි. අගේ නුරුස්නා මුහුණ නිමලාගේ පුයර තවරන ලද මුහුණට වඩා කැපී පෙනුනි.
"අක්කලත් රේඩියෝ එකක් අරන් නේද?"
"ආ ඔව් නංගි, දැන් ඉතින් අපේ අසල වැසියෝ පොහොසත් උදවියනේ"
රැය සෙමෙන් ගෙවී යයි, සිරිසේනට ආහාර රස වුවද ඒවා උගුරෙන් පහලට යන්නේ ගෙල හිර කරමිදෝයි සිරිසේනට හැඟෙන්නට විය.
"නැඟී අපි යන්නම් නේද රෑ උනානේ, දුඋලව නිදි කරවන්නත් ඕනා"
"හ්ම්ම් හොඳයි අක්කේ, ගුඩ් නයිට්  හිරූ, සපූ ගුඩ් නයිට්"
"ගිඩ් නයිට් නැන්දී"
...................................................................................................................................................................
"තමුසෙට කෑම රස ඇති නේද මන් උයන ඒවට වඩා, අහුනනේ ඒකිගේ පාරට්ටුව, ගුඩ් නයිට්ලු, මේ තමුසේ දැක්කනේ ඒකිගේ බදු මුට්ටු, මෙන ලෝකෙන් හරි හෙට එද්දී ටීවී එකක් ගෙනාවා. ගෙවන්න හරි කමන් නෑ ගන්නවා, අපි කවුද අරකි කවුද, මන් මෙහෙම හරි මගුලක් ගෙනාව. තමුසේ හරි හෑන්ඩියානේ, තම්බලා දෙන දේ ගිලිනවා විතරයිනේ අර නිමල්ගේ මිනිහා වගේ.
කමලා හාත්පසින්ම වෙනස් වී ඇත. ය දරුවන් හා අනික් පස හැරී නිදන්නට සැරසේ. හෙමින් කාමරයෙන් එලියට ආ සිරිසේන ඉස්තොපුවේ පුටුවකට බර විය. හෙට පොත හූරලා ගන්නවා, දූලගේ පොත් දෙක තියෙනවනේ. සිරිසේන කල්පනා කරන්නට විය. ඉස්තොපුවේ දැල්වුණු විදුලි බුබුල නිවී ගියේය. තමා නිමලාට රැකියාවක් සොයා දුන්නානම් යයි සිරිසේනට සිතුනි.
...................................................................................................................................................................
කතාව කියවපු එකේ හිතෙන දේවල් කියලා ගියොත් ගොඩක් වටිනවා. අකුරු වල වගේම ව්‍යාකරණ වලත් අඩුපාඩු ඇති. මෙන්න මෙතුවක් කල් මම ලියපු කෙටි කතා ටික. ඒ සමහරක් කෙටිකතාද කියන්න මම දන්නේ නෑ. මොකද කෙටිකතාවට සමාජය දීපු සම්ප්‍රදායක රාමුව, ඒ අච්චුවට ඒවා වැටෙන්නේ නැති වෙන්න පුළුවන්.
වෙලාව තියෙනවානන් කියවලා යන්න. ස්තූතියි.


Related Posts Plugin for WordPress, Blogger...