Saturday, May 24, 2014

අමාරුවෙන් හරි අකමැත්තෙන් වුවත් පිළිගත යුතු වන යතාර්ථය "අම්මා", අම්මා?


රස කතා , දුක කතා, කෙටි කතා, නවකතා, බයිලා, කවි, හා නිසඳැස් ආදී එකී මෙකී නොකී සියලු ලේබලයන්ගෙන් බ්ලොගේ  පිටු පුරවෙන අතර සොමියාට හාර්ඩ් ටෝක්ස් ටිකකුත් ලියන්න හිතුනා. හ්ම්ම් ලිපියේ හෙඩිම දක්කමම මොකද හිතෙන්නේ, මොකක්ද මේ අමාරුවෙන් හරි අකමැත්තෙන් වුවත් පිළිගත යුතු වන යතාර්ථය? එතකොට කොහොමද එකට මේ අම්මව ගෑවුනේ? ප්‍රශ්න ගොඩයි නේද? හරි එහෙනම් මන් ප්‍රශ්නෙකින්ම කතාව පටන්ගන්නම්. හොඳයි ඔබෙන් කවුරුන් හෝ අම්මා යනු කවරෙක්දැයි විමසුවහොත් ලබා දෙන පිළිතුර කුමක්ද? හරි සරල ප්‍රශ්ණයක් නේද? අම්මා කියන්නේ දස මාසයක් මාව කුසේ තියන් ඉඳලා පොඩි කාලේ ඉඳන් මාව හදා වඩා ගත්තු, මට ගොඩක්ම ආදරේ, හ්ම්ම් තව.... මගේ ඕනා එපාකම් ඔක්කොම මට කරලා දෙන, අපිට කන්න උයල දෙන.... ඔය ආදී වශයෙන් නොයෙකුත් උත්තර ගොඩක් ඔබේ ඔළුවට එන්න පුළුවන් මන් අහපු ප්‍රශ්නෙට. මගේ අදහස අනුව නම් ඔය කියපු කතා ඔක්කොම බයිලා, තනිකරම බොරු, ආයි සිරාවටම, එකෙන්ම ඔය නම් බොරු ටිකක්, හෝව් හෝව් දැන් ඉතින් මල පැනලා මට බනිනවා එහෙම නෙවෙයි ඔහොම කියවගෙනම යමුකෝ.

 පොඩ්ඩක් හිතල බලන්න ඔබමද මේ පිළිතුරු දුන්නේ කියලා. මන් කියනවා මේ ඔබේ පිළිතුරු නෙවේ කියලා. ඔබ ඔය කියන්නේ කවුරු හරි ඔබේ ඔළුවට දාපු උත්තරයක්, ඔව් ඔබ පෙර පාසලෙදී හෝ ප්‍රාථමික අධ්‍යාපනයේදී හෝ තුන්සිය හැටපස් දවසෙම අහන බණවල ඉන්න හාමුදුරුවෝ කෙනෙක් කියපු අම්මා කියන වචනයට දුන්නු අර්ථ දැක්වීමක් ඔබත් ඔහේ හිතින් පිළිතුරක් වශයෙන් නේද? ඔව් ඔබ අප සැමගේම මෑණියන් ඔබට අපට ඔය කියන අර්ථ දැක්වීමේ සියල්ල එලෙසින්ම අකුරක් නෑර ඉටු කළාය. ඇය අදටත් එලෙසින්ම හෙටටත් ඇගේ ප්‍රාණය තිබෙන තුරාවටමත් ඒවා එලෙසින්ම තරමක් අඩු වැඩිව හෝ එටු කරනු ඇත. ඇත්තම කිව්වනම් සොමියාත් ඉස්සර ඔය උත්තරේ ඔය වගේම දුන්නා. ඉතින් මම අහපු පැනයට ඔබ ලබා දුන්නේ අර කලින් සඳහන් කලාක් මෙන් කටපාඩම් උත්තරයක් නොවේ නම් සැබවින්ම ඔබ ඔබේ මෑණියන්ව තේරුම් ගෙන ඇත.

හරි දැන් මගේ පැත්තෙන් බලමුකෝ, ඔය ප්‍රශ්නේ අර කලින් කියපු  විදියට ගත්තොතින් සරලම ප්‍රශ්ණයක් තමා. එත් සොමියට නම් ඕක ඇත්තටම සෑහෙන්න සංකීර්ණ ප්‍රශ්ණයක්. කවුරු හරි ඇහුවොතින් උත්තරයක් දෙන ඕන නිසාම මමත් අර උත්තරයම දෙන්න පුළුවන්, ඒත් මම මගෙන්ම විමසා බැලුවොත් ඇත්තටම මම නිරුත්තරයි, සමහර විට මම මගේ අම්මව තවමත් තේරුම් නොගෙන සිටින්නට පුළුවන්. තේරුම් ගන්න තවමත් උත්සහ කරනවා වෙන්නට පුළුවන්. ඇත්තටම මන් ගෙදරදී නම් අම්මව ඉතින් හැමදාම දකිනවනේ, එටකොට ඉතින් අර කියන්න වගේ "හැමදාම දකින කුකුලගේ කරමලේ සුදු උනත් පෙන්නේ නැද්ද මොකක්ද" තියරියට අම්මවත් වැටෙනවද මන්ද? එත් ගෙදර නොවෙන අම්මත් ළඟ නැති තැනකදී කව්රු හරි මගෙන් අම්මා ගැන ඇහුවොතින් මට එකපාරටම හිතේ සිතුවම් සමුදායක්ම නිකන් චිත්‍රපටියක් වගේ පෙනිලා නොපෙනී යනවා, සමහර විට මට අම්ම ගැන හැඟෙන හැටි වෙන්න පුළුවන් ඒ. එතකොට මන් මේ කියන බයිලාව මෑණියන් අහිමි අයට බලපාන අයුරු අර ගීයක එක පදයකින් හරිම අපූරුවට විස්තර කර දී ඇත. එනම්,

"පැහැදිලි නැති එක චායාවක් ඇත එය ඔබ බව දනිමී"

ඒ අතර නන්දා මාලිනිය මෙසේද කියයි.

"අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ"

හරි, අම්ම ගැන අර්ථ දැක්වීම් ඇති කියලයි සොමියට හිතෙන්නේ මොකද එතකොට මොකක්ද මේ අමාරුවෙන් හරි අකමැත්තෙන් වුවත් තේරුම් ගත යුතු වන යතාර්ථය? හරි ආයිත් මුලටමයි එත් එන්න, බලමු. අර අම්ම ගැන ප්‍රශ්නෙදි මන් හිතනවා ඔබ ගොඩ දෙනෙක් මැක්සිම් ගෝර්කි විසින් රච්ත අම්මා පොත කියවලා ඇති කියලා. ඔව් සොමියත් ඔය පොත කියෙව්වා. ඇත්තම කියනවනම් සොමියයි මැක්සිම් ගෝර්කිගේ ඔය කියන අම්මයි එක්ක හරි අපූරු සිද්දියක් තියෙන නිසා ඇත්තමයි මට කවමදාකවත් මගේ අම්මා වගේම මැක්සිම් ගෝර්කිගේ අම්මවත් අමතක වෙන එකක්නම් නෑ. ඔය කියන මැක්සිම් ගෝර්කිගේ අම්මා පොත සොමියා කියෙව්වේ මුලින්ම හොරකම් කරපු එකක්, ඉස්කෝලේ  යන කාලේ 8 වසරේ හරි 9 වසරේ හරි ඉන්නකොට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබ්බ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ බලන්න ඉස්කෝලේ ඇරිලා ගියපු සොමියගේ අතේ තිබ්බේ රුපියල් 30යි. පොත් කඩ අස්සේ තිබ්බ පොත් අතරේ සැඟවුණු සොමියාත් ඉතින් පොත් දෙක තුනක්ම හිමීට කඩ ඇතුලෙම එහෙට මෙහෙට වෙවී කියෙව්වා. අන්තිමේදී සොමියගේ අතට අහුඋනේ ඔය අම්මා පොත. ඉස්සර අම්මට ආදරේ උන් කියවන පොතක් විදියටයි සොමියා ඔය පොත ගැන හිතාගෙන හිටියේ. ඉතින් ඕක කියවනවත් වෙලාවක් තිබුණ නෑ වගේම පොතට තිබ්බ ආසාවයි අම්මට අර කියන ආදරෙයි නිසාම සොමියත් ඉතින් ඕක ඉස්සුවා. දැන් ඉතින් අහන්න එපා කොහොමද ඕක ඉස්සුවේ කියලා. එත් එදා ඇත්තටම අම්මා පොත මන් ඉස්සුවේ මොන හේතුවකටද කියල අදටත් මන් දැන් නෑ. ඉතින් එදා කොහොම හරි මැක්සිම් ගෝර්කිගේ අම්මව උස්සපු සොමියා  වීරයෙක් වගේ මැක්සිම් ගෝර්කිගේ අම්මව ගෙනත් අම්මගේ අතට දුන්න. එතන ඉඳන් අම්මගෙන් ප්‍රශ්න කෝටියයි, සෑහෙන්න පොත් වල නම් ටිකක් ඉතින් ඒ සිද්දියත් එක්ක කියන්න පුළුවන්, ඒ අතරින් "අපරාධය සහ දඬුවම" ප්‍රධාන කොට සලකන්න පුළුවන්. ඉතින් කියන්න ඕන නෑනේ මොකද උනේ කියලා. අන්තිමේදී ඉතින් කොහෙවත් හිටපු මැක්සිම් ගෝර්කිගේ අම්ම නිසා මන් එදා මගේ අම්මත් එක්ක තරහා උනා. හැබැයි තාමත් මගේ පොත් කබඩ් එකේ ඒ පොත තියෙනවා. ඔය උඩින්ම ඉන්නේ එදා උස්සපු මැක්සිම් ගෝර්කිගේ අම්ම තමයි.

හරි අයෙත් යතාර්ථයෙන් පිට පැන්නද කොහෙද? ඔව් එත් මන් මොකක් හරි යතාර්ථ කරුණක් ඔබට අම්මගේ අර්ථ දැක්වීමත් එක්ක කියන්න උත්සාහ කළා. ඔබට එය තේරුනාද මන්දා? කොහොම හරි අපි ඉතින් අම්මව දකිනවනේ ඉතින් හැමවෙලේම. එත් සමහර ඇයට එහෙම නෑ කියල මන් දන්නවා. එත් මන් දකින, මන් දැකපු අම්මමද ඒ ඉන්නේ? පොඩ්ඩක් හොඳට ලං වෙලා බැලුවම තමා පෙන්නේ අනේ ඒ ඉන්නේ මන් දකින මන් දැකපු අම්මම නෙවෙයි කියලා, එයාගේ කළුපාටට ලස්සනට දිගට තිබ්බ කොන්ඩේ දැන් ඉදීලා, ඊටත් වටා දැන් කොන්ඩේ ගොඩක් ගිහින්, එදා සුදු පාටට බැබලුනු හැම රැලි වැටිලා, ලස්සන හිනා මවපු ඒ මුවේ දතුත් වැටිලා, කෙට්ටුවට හැඩට තිබුණු ඒ සරීරෙ ටිකක් විතර මහත් වෙලා, එස්සර සොමියට කන්නාඩි දමන නැතිවම පාඩම් කියලා දීපු ඒ දෑසට දැන් මොකක් හරි කියවන්නත් කන්නාඩි දාන්න ඕනා වෙලා,හැතැප්ම ගණන් සොමියව වඩාගෙන ඇවිදපු ඒ සිරුරම තුනටිය දනිස් අමාරු නිසා වේදනාවෙන් කෙඳිරි ගාන තත්වෙට පත් වෙලා............... එදා හරිම ලස්සනට දෙකට මැදින් කොන්දේ පීරලා, පාට පාට සාරි ලස්සනට රැලි තියලා ඇඳලා, මල් මල් කුඩයකින් අවුවෙන් බේරිලා, වැස්සේදී සාරිපොටෙන් සොමියව වහගත්තු සොමියා  සුලගිල්ලේ එල්ලිලා හුරතල් කතා කිය කිය පෙර පාසලට එක්කන් ගියපු ඒ අම්මමයි දැනුත් ඉන්නේ, එත් එයා එදා මහා ගහක් වගේ සොමියගේ ඉස්සර හිටියට අද සොමියා ලොකු ගහක් වෙද්දී එයා වියපත් වෙලා, ඒ ඔඩොක්කුවේ හිස තියන් නිදාගන්න සොමියා අදටත් ආසයි, ඒ ඇඟිලි වලින් හිස පිරිමදිද්දී දැනෙන සනීපෙට ඒ දැනෙන උණුහුම නැවත නැවතත් වැඳගන්න සොමියා හරිම ආසයි. පිඟාන වටේට බත් ගුලි හදලා කතන්දරත් එක්ක ඒ බත් ගුලි ඒ ඇත දෙකෙන් කන්න ඇත්තන්. ඒවා අදටත් ඒ විධියටම වින්දත් ඒත් අම්මව දකිද්දී අනේ මන්ද මහා දුකක් හිතට එනවා. එත් එකමයි ඔය මන් කියන අමාරුවෙන් හරි අකමැත්තෙන් වුවත් පිළිගත යුතු වන යතාර්ථය.

එත් තාමත් සොමියා ජෝබ්ලෙස්, ඒ වගේම ආණ්ඩුවේ ඇත්තන්ට පින් සිද්ද වෙන්න තාමත් සොමියා ඉගෙන ගන්නවා, තාමත් සොමියට බස් එකේ යන්නත් රුපියල දෙක දෙන්න ඒ මහා වෘක්ෂය අද ගන්න සොච්චාන් පැන්ෂන් එකෙන් තමා. එයා ආණ්ඩුවේ හිටියේ, මාසික අදායම උන් කියන ගානට වඩා වැඩී, සොමියට මහපොලත් නෑලු ඉතින්. එත් සොමියගේ අම්මා හැමදාමත් කියන්නේ "පුතේ උඹල රස්සාවල් වලට ගිහින්, කවද හරි කසාද බැඳලා ළමයි හදනකොට අපි මැරිච්ච තැන වල ගසුත් පලවෙලා ඇති."

ඇත්තටම මෙහෙම ලිපියක් ලියවුනේ පරණ පොටෝ පොත් ටිකක් පොත් කබඩ් එක අස් කරද්දී හම්බ වෙලා ඒවා පෙරලද්දී අම්මගේ තරුණ කාලේ සාරියක් ඇඳලා ඉන්න පොටෝ එකකුයි ඊට එහා පැත්තෙන් මමම දාපු අම්ම පැන්ෂන් ගියපු දවසේ ගත්තු පොටෝ එකයි දැකලා ඔළුවට ආපු අදහසුයි අර ඉතින් උස්සපු මැක්සිම් ගෝර්කිගේ අම්මා කන්න වගේ මන් දිහා බලන් හිටපු හැටියටයි, ඒවගේම අම්ම මේ දවස් වල ටිකක් අසනීපෙන් ඉන්නේ, අම්මේ ඔයා ඉක්මනින්ම සනීප වෙන්න. මේ ඔයාගේ පොඩ්ඩා.

32 comments:

  1. අන්තිමේදී ඉතින් කොහෙවත් හිටපු මැක්සිම් ගෝර්කිගේ අම්ම නිසා මන් එදා මගේ අම්මත් එක්ක තරහා උනා

    ReplyDelete
  2. අම්මා ඉක්මනින් සනීප වෙන්න පොඩ්ඩා කලබල වෙලා ඉන්නේ ටිකක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතීයි දේශක අයියේ, නෑ ඇත්තටම අම්මගේ සද්ද බද්ද ඇහෙන නැති උනාම දවසම නිකන් මොකක්ද වගේ, එයා ඇඳට වෙලා ඉන්න එක නං දකින්නම අස නැති දෙයක් තමා, උදේම තේ එක බොන්න කතා කරන තැන රා නින්දට යනකන්ම අම්ම ඉතින් මොනවා හරි කියනවා. ඒවා ඇහෙන්නේ නැති උනාම අනේ මන්ද.

      Delete
  3. සොමියා....

    ඇත්තට ම ඇග හිරිවැටිලා යන රචනාවක්... ඔබ කෝටි ගණන් හොය හොය අම්මාව අමතක කරන පුතාලට වඩා ඇයට දාහකින් සම්පතක් සොමියා. ඇසට කදුලක් ආවා. අම්මා ගැන කතා කරනවානම් අපිට සති මාස ගානක් වුණත් මදි තමයි. ඔබේ රචනාවනම් හරිම අගෙයි. ඒක හාඩ් ටෝක් එකක් නෙමෙයි සොමියා දයාබර දරුවෙකුගේ අහිංසක හිතක කියවීමක් විතරයි.

    වැව් ඉස්මත්ත තාත්තා ගැන ලියපු හරිම අගේ ඇති නිසදැසකුත් මේ සමගම කියවන්න යැයි මම ඔබ හැමට ආරාධනා කරනවා. ඒක මේකට අනුපූරකයක් වන බව නිසැකයි....

    http://wewismatha.blogspot.com/2014/05/blog-post_21.html

    ඔබ දයාබර පුතෙක් සොමියා. ඔබ මව රැකගන සාර්ථක ජීවිතයක් ගත කළ හැකි රැකියාවක් අනිවාර්යෙන් ම ඔබ සොයා ඒවි සොමියා.......... අපේ සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ගෙඩක් ස්තුතීයි කුරුටු ගෑ ගී පවුර, බලමු අපි ඉතින්, මම ඒ ලිපිය කියෙව්වා, ඒ ලිපිය ඇත්තටම මටත් සමීපයි, මොකද මන් පෙර පාසලේ ඉඳන් තුන වසරටම යනකන් තාත්තත් එක්ක තාත්තගේ බයිසිකලේ තමා ගියේ. ඒ ලිපිය ඇත්තටම සංවේදී වටින ලිපියක්.

      Delete
  4. අම්මට ඉක්මන් සුවය පතනව. අම්ම ගැන කියල ඉවර කරන්න නං බෑ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රාජ් අයියේ, ඇත්ත අම්මා ගැන කියල ඉවර කරගන්න තියා කියා ගන්නවත් බෑ වගේ මටනං.

      Delete
  5. post එක දකින කොටම මට මතක් වුනේ සොමි මක්සිමම් ගෝර්කිගේ 'අම්මා' ගැනයි ලියන්නේ කියල. ඒත් මේ අපේ අම්ම ගැන නේ ලියවිලා තියෙන්නේ.
    ඔව්...... සොමි.... ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ, අම්මගේ කිරි වලින් හා හිරුගේ රැස් වලින් කිව්වොත්, මෙතනදී, අම්මා ලෝකය හදන්න ලොකු මෙහෙවරක් කරනවා නේද......?

    ReplyDelete
    Replies
    1. මැක්සිම් ගෝර්කිගේ අම්මව උස්සපු එකේ අයි තව එයා ගැන වෙන මොනවා ලියන්නද අක්කේ, අක්කගේ කතාව සහතික ඇත්ත.

      Delete
  6. ඉතාම සංවේදීයි සොමියො. ඔබ මාවත් අතීතෙ සුව යහනකක් වෙච්ච අම්මගෙ උනුහුම් උකුලු තොටිල්ලට යැව්වා. මට මතකයි, මට අවුරුදු පහක් හයක් කාලෙත් අම්ම මාව නැලෙව්ව හැටි. එයා කියප නැලවිලි ගීත වලින් මං ආසම කලේ "මහවැලි, කැළණි, කළු, වලවේ යන ගංගා" කියන පැදිපෙලට. ඊටපස්සෙ අම්මා මල්ලි නළවගන්නත් ඒව කීව. මාත් ඒව හොරෙන් අසාවෙන් අහගෙන හිටියා. අදටත් හිටිගමන් මට ඒවා එහෙනවා වගේ. අම්මා ගැන අපිට කවදාවත් කියල ඉවරකරන්නත් බෑ. ඒකත් හරියට ආදරය කියන අකුරු හතර් නිර්වචනය කරන්න බෑ වගේමයි.

    මට සොමියට කියන්න බෑ මගේ අම්ම ගැන. ඒවගේම සොමියටත් ඔබේ අම්ම ගැන කියන්න බෑ. කියල විස්තර කරන්න බැරි ඒ හැමදේම හිතේ තියෙන්නෙ අපේ. වචන වලට පෙරලගන්න බෑ.

    ඔබේ මවුතුමියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මනොෂ් සහෝ..... අපේ අම්මත් ගොඩක් කවි කිව්වා, අම්මට ගොඩක් කවි කට පාඩම්, සන්දේශ කාව්‍යයන් එහෙම. එතකොට ඔය පැල්කවි, ගොයම් කවි, අම්ම අපිව පොඩිකාලේ ඔයා කියපු ඔය මහවැලි කැළණි කවියත් කියලා තියෙනවා, මන් එත් ආසම අර රාජසිංහ රජතුමාව නැවෙන් ගෝවට අරන් යද්දී කියපු "ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු" කියන පදය තියෙන කවිය, අපේ අම්ම ඔය කවි පන්තියම කියනවා අපිව නලවද්දී හරිම තාලෙට. එතකොට ඉතින් අම්මාගේ උපන් ගම වලස්මුල්ල වගේම අම්මලට කුඹුරු හේන් තිබ්බ නිසා මමත් ඒ අත්දැකීම් ලබන්න තරම් වාසනාවන්ත උනා, කුඹුරකට බැහැල මඩ ගාගෙන අපි ගොයම් හිටෙව්වා, පෝර ගැහුවා, ගොයම් කැපුවා, ඇත්තටම මම ගොඩක් දේවල් වින්දේ අම්මා නිසා, ඇත්තටම මට මොකක් හරි කලාවක් තියෙනවනම් එත් අම්මා නිසා වෙන්න ඕන, ඒ වගේමයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ තාත්තාගෙන්.

      Delete
    2. ජීවත් වෙනවා කියන්නෙ ඕක තමයි මචං. උඹල ජීවිතේ විඳල තියෙනවා. විඳිමින් ඉන්නවා. සතුටුවෙයන් ඒ ගැන.

      Delete
    3. හ්ම්ම් එත් මේ කොන්ක්‍රීට් වනාන්තරයක් අස්සේ හුස්මක් කටක් ගන්නවත් බැරිව ඉඳන් අපි දුවන්නන් වාලේ මොකක්දෝ පැහැදිලි නැත දෙයක් හඹාගෙන දුවන එක අල්ලන්න, ඒ අතරේ අත්හෙතයේ කොහේ හරි තැනක නැවතිලා ඒ ගැන හුල්ල හුල්ල් ඉන්නවා. ඒ ඔක්කොටම වැඩිය අම්මා අසනීප උනාම ඇත්තමයි මගේ ඇඟේ පන තිබුනත් ඉතින් මැරුණා වගේම තමයි දැනෙන්නේ.

      Delete
  7. මේක අහඹුවක් බං. මේ පෝස්ට් එක මාරම විදිහට හිතට වැදුනා සොමියො. මේ පෝස්ට් එකත් එක්ක මගේ අහඹු සංබන්ධයක් තියෙනවා. (පස්සෙ වෙලාවක හිමීට කියන්නම්.)

    ඇත්තටම සැබැ මව්වරුන්ගෙ ගුණ අනන්තයි බං.

    සොමියා ගෙ ආදරණීය මෑණියන්ට ඉක්මන් සුවය පතනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ප්‍රියා අයියේ, මන්දා අහම්බය ගැනනම්, එහෙනම් එකත් ලියන්නකෝ බලන්න.

      Delete
  8. අම්මා අම්මා.... නේහ්...

    අම්මේ ඔබ මතු බුදු වෙන්න එපා...
    ආයෙත් මං උපදින හංදා
    මගෙම වෙන්න අම්මා...

    අහල තියෙනවද...? අම්ම ගැන මං කැමතිම සිංදුව...
    අම්ම පොත කියවන්න ගත්ත... මට එපා වුණා...
    කවදාවත් නැතිව මගින් නවත්තල දැම්ම... අ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මමත් ගීතයට නම් කැමතියි, එත් ඉතින් මේ සංසාරේ විඳව විඳව යනවට වඩා ඉතාමත්ම ඉක්මනින්ම මේ සංසාරෙන් අපිට ගැලවෙන්න තියෙනවනම් තමා මන් නම් ඇත්තටම ආස. අපි මොන දෙ වින්දත් ඇත්තටම අපි විඳවනවා උපන් දා ඉඳලා, හැම දෙයක් එක්කම ඇලිලා, බැඳීම් ඇති කරගෙන, මම අම්මා ගැන මේ විධියට ලිව්වත් මම අම්මට හැම තිස්සෙම මතක් කරන කතාවක් තමයි කුමාර කාශ්‍යප හාමුදුරුවොන්ගේ කතාව, හාමුදුරුවෝ රහත් උනත් පියයුරු වලින් මව් කිරි එරිලා ඇඳන් උන්නු සිවුර පෙඟීලා තියෙද්දී හාමුදුරුවොන්ගේ පස්සෙන් මෙහෙණියක විලාසෙන් එන කුමාර කාශ්‍යප හාමුදුරුවෝන්ගේ මෑණියන්ගෙන් කුමාර කාශ්‍යප හාමුධුරුවෝ අහනවා "අම්මේ තාමත් දරු සෙනෙහස නැති කරගන්න බැරි උනාද කියලා" ඒ පැනය නිසාම එතුමිය සියල්ල වටහාගෙන උතුම් වූ නිවනෙන් සැනහෙනවා, ඒ පැනය මවකගෙන් අහන දරුණු පැනයක් තමා, එත් මම අසා නෑ ඇත්තටම මගේ අම්ම මන් ගැන මමවත් නොදන්නා බලාපොරොත්තු කන්දක් හිතේ තියන් ඉන්නවා දකින්න, මොකද මට ඒවා එටු කරන්න බැරි වෙන්න පුළුවනි, එතකොට මට වඩා එයාටයි දුක, මම කැමති නෑ එයා දුක් විඳිනවට, අන්න ඒ නිසයි මන් අම්මට හැම තිස්සෙම ඒ කතාව කියන්නේ. අපි පෘතක්ජනයි කියලා සසරින් ගලෙවෙන්න මන්දෝත්සාහීව එක කරේ තියන් යනවට වඩා එකෙන් ගැලවෙන්න උතස්සහ කරන්නයි ඕන. ඔව් මේක ටිකක් වෙනස්ම උත්තරයක් තමා. එත් මම කැමති ඒ අවබෝධාත්මක වෙනසටයි.

      Delete
  9. කියල ඉවර කරන්න බැරි ආදරයක්..

    අම්මාට ඉක්මන් සුවය පතනවා !!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සෑම් අයියේ, ඇත්ත අම්මගේ ආදරේ නං කියල ඉවර කරන්න බැරි ආදරයක් තමා. එකම තමා අම්මා වයසට යනවා කියලා දැනෙද්දී දුක වැඩි.

      Delete
  10. ඔබේ මවුට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නලීන් අයියේ.

      Delete
  11. මුලින්ම ඔබගේ මෑනියන්ට ඉක්මන් සුවය පතමි..
    අම්මාගේ ගුණකඳ කියන්න පාේස්ට් දාහක් ලිව්වත් මදිවෙයි.. අපි බැඳල ලමයි හදල කොහොම හිටියත් අම්මා බත්එක කන්නෑ අපි බතඑක කනකං..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි විදානේ අයියේ, ඒ කතාව නම් සහතික ඇත්ත.

      Delete
  12. අම්ම නැතිව එක දවසක් එක රැයක් ගෙදර ඉඳල තියෙනවනම් ,ඒ දැනෙන පාළුව හිතට කා වැදිල තියනවානම් හිතෙයි අම්ම කොච්චර අපේ ජීවිතයත් ආත්මයත් එක්ක බද්ධද කියල . අම්ම ලෙඩ උනාම , ඒ ක්‍රියාශීලි බව ඒ සිනහව නැතිඋනාම හිතෙට දනෙන්නේ අමුතුම බයක්,පාළුවක්... ලෝකෙන්ම තනිවෙලාවගේ ...කතාව ගොඩක් ලස්සනයි . ගොඩක්ම හිතට වැදුන එක චේදයක් තිබ්බ ..("හරි අයෙත් යතාර්ථයෙන් පිට පැන්නද කොහෙද?.......අකමැත්තෙන් වුවත් පිළිගත යුතු වන යතාර්ථය" ) යථාර්තය මේක උනත් අපි කවුරුත් හීනෙන්වත් හිතන්න අකමැති යථාර්තයක් මේක ..
    හිතේ ආත්ම විශ්වාසයක් තියාගන්න ..අම්මව සුවවෙන්න කියල හිතින් කරන පැතුම අන්තිමට ආශ්චර්යක් වගේ ඉක්මනින් අම්මව සුවකරනවා (අත්දැකීමෙන් කියන්නෙ :) ...) අපි හැමෝම ඔයාගේ අම්මට ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා ....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නංගි, හ්ම්ම් ඔයාගේ කතාව සම්පුර්ර්නම ඇත්ත, හිතේ තියෙන්නේ මහා පුදුමාකර බලයක්. ඔයාටත් ඒ අත්දැකීමම තියෙනවා නේද.

      Delete
  13. අම්මට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මලයා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දිනේෂ් අයියේ.

      Delete
  14. අම්මා කියන එකට මම අර්ථ දක්වන්නේ මෙහෙම. 'ඒ මගේ පණ'....

    'අම්මේ ඉකමන්ට සුවපත් වෙන්ට...' මේ පොඩ්ඩි...:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ, දැන් ටිකක් හොඳයි, එත් තාම හරියටම හොඳ නෑ.

      Delete
  15. අම්මා කෙනෙක් කියන්නේ මිහිපිට ඉන්න දේවතාවියවක් වගේ කෙනෙක්ට!

    ReplyDelete
    Replies
    1. ඔව් අම්ම ගැන අර්ථ දැක්වීම් විවිධාකාර විදියට දෙන්න පුළුවන්, එත් අම්ම කියන්නේ අම්මම තමා. ඒ අකුරු තුන අකුරු කියවන දවසේ ඉඳන් දැන ගත්තට වචනේ දෙක ඇහිඳ ඇහිඳ කතා කරන්න ගත්ත දවසේ ඉඳලා මැරෙනකන්ම කියවෙනවා.

      Delete
  16. අම්ම හරියට බුදුහාමුදුරුවො වගෙයි. අම්මගෙ ගුණ ගැණ හිතන්න ගත්තොත් හිතල ඉවර කරන්නත් බෑ,අඩල ඉවර කරන්නත් බෑ

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...